අභ්‍යන්තර විගණන අංශය

දැක්ම

ක්‍රියාන්විතයේදී විපතට පත් රණවිරුවන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ උන්නතිය උදෙසා යහපාලනයෙන් යුත් රාජ්‍ය සේවයක් අධිකාරිය තුළ ඇති කිරීම.


මෙහෙවර

අධිකාරියේ ඒ ඒ අංශවල මුල්‍ය කටයුතු පිළිබඳව පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගී වී, එම කටයුතුවල වැරදි හා වංචා වැළැක්වීම සහ ඒවා අනාවරණය කර ගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත්භාවය හා ප්‍රමාණාත්මකභාවය පිළිබඳව අඛණ්ඩ සමීක්ෂණයක් හා ස්වාධීන ඇගැයීමක් සිදුකර ඵලදායී යහපාලනයක් පවත්වමින් අධිකාරියේ සම්පත්වල මනා කළමනාකරණයක් ඇති කිරීමට කටයුතු කිරීම.


අරමුණු

අධිකාරියේ ඒ ඒ අංශ වල අභ්‍යන්තර පාලන ක්‍රම අධ්‍යනය කර එම ක්‍රමවල වැරදි හා වංචා වැළැක්වීමට සහ අනාවරණය කර ගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත්බව හා ප්‍රමාණවත් බව පිළිබඳ අඛණ්ඩ සමීක්ෂණයක් හා ස්වාධීන ඇගයීමක් පවත්වාගෙන යෑම.

අධිකාරියේ ඒ ඒ අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමෙහි සහ සැලසුම් සහ වැඩසටහන් සපුරාලීමෙහිලා ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට සභාපතිට (ගණන් දීමේ නිලධාරියාට) සහ විගණන හා කළමනාකරණ කමිටුවට සහය වීම.

උචිත අවස්ථාවල දී මෙම කර්තව්‍යයන් හි නිරත අයවලුන් සහ සභාපතිට (ගණන් දීමේ නිලධාරියාට) සහ විගණන හා කළමනාකරණ කමිටුව අතර සම්බන්ධීකාරක ද, වශයෙන් ක්‍රියා කිරීම.

කාර්යයන්

අධිකාරියේ අභ්‍යන්තර විගණන කටයුතු ඉටුකිරීමේදී මු.රෙ.133 හි සඳහන් පරිදි පහත සඳහන් කාර්යයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

වැරදි හා වංචා වැළැක්වීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැලැස්ම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරීත්වය අතින් සාර්ථකම දැයි සොයා බැලීම.

ගිණුම් සහ වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම සහ යොදාගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත මඟින් නිවැරදි මුල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේ දැයි සොයා බැලීම.

කාර්ය මණ්ඩලයට පවරා දී ඇති වගකීම් ඉටු කිරීමේහි ලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකතාව ඇගයීම.

ආයතනයේ වත්කම්,සියලුම ආකාරයේ අලාභ හානිවලින් කොතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි සොයා බැලීම.

රජයේ ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සහ භාණ්ඩාගාරය විසින් වරින් වර නිකුත් කර ලැබ ඇති වෙනත් පරිපූරක උපදෙස් ද පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.

නාස්තිය,නිස්කාර්ය ධාරිතාව සහ පමණ ඉක්මවා කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම අනාවරණය කර ගැනීමට තෝරා ගනු ලබන අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය සොයා බැලීම.

ආයතනයේ ගිණුම් පටිපාටිය සහ කිසියම් මුදල් වැය වීමකට තුඩු දෙන එකී මෙහෙයුම් පරික්ෂා කිරීම සහ ආයතනයේ දේපල හා වත්කම් ආරක්ෂාකාරී ලෙස අරපිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේ දැයි සොයා බැලීම.

අවශ්‍ය අවස්ථාවල දී විශේෂ විමර්ශන පැවැත්වීම.

භාණ්ඩාගාරයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් වරින්වර නිකුත් කරනු ලබන උපදෙස් හා මගපෙන්වීම් අනුව ක්‍රියාකිරීමත්, ඒ ඒ වර්ෂයේ සෑම කාර්තුවකටම වරක් අධිකාරියේ විගණන කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමත්, එම රැස්වීම්වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පසු විපරම් කිරීම.

විගණකාධිපතිගේ විගණන නිරීක්ෂණ සම්බන්ධව අදාල සම්බන්ධීකරණය කරමින් අධිකාරියේ සභාපති (ගණන් දීමේ නිලධාරි) වෙනුවෙන් විගණකාධිපති වෙත පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීම.