ඉතිහාසය - වර්තමානය

1980 දශකයේ අග භාගයේ සිට දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භවී 90 දශකයේ අග භාගය වන විට ඉතා බිහිසුනු අභ්‍යන්තරික යුධ ගැටුමක් බවට වර්ධනය වූ ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක අංශයන්ගේ සාමාජික සාමාජිකාවන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව රටේත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරමින් සිටියහ. බිහිසුනු යුධ ගැටුම් වලට යුධබිමේදී මුහුණදුන් සොල්දාදුවන් විශාල වශයෙන් මියයාම, අතුරුදහන් වීම හා දුබලතාවයට පත්වීම තත්කාලීන ශ්‍රී ලංකාව මුහුණදුන් ප්‍රබල සමාජ අර්බුදධක් බවට පත්වෙමින් පැවතිනි.එම තත්වය හේතුකොටගෙන රණවිරුවාගේ ළඟම ඥාතීන් හා දුබලතාවයට පත් රණවිරුවන් මනෝ සාමාජීය හා ආර්ථික ගැටළු රාශියකට මැදිව සිටියහ.

යුධ ගැටුම් ආරම්භ වී දශක 02 ක පමණ කාලයක් ගතවී තිබුණද රණවිරුවන් හා රණවිරුවන්ගේ ළඟම ඥාතීන් පිළිබඳව කටයුතු කිරීමේත්, ප්‍රාදේශීයව තම කටයුතු ව්‍යාප්ත කර පවත්වාගෙන යාමේ හැකියාවක් සහිත විධිමත් සිවිල් ආයතනයක් නොමැතිවීමේත් ජාතික අඩුපාඩුව පිරිමසමින් 1999 අංක 54 දරන රණවිරු සේවා අධිකාරී පනතින් යුධ ව්‍යසනය කළමනාකරණය කරමින් ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන් මෙන්ම රණවිරුවන්ගේ ලඟම ඥාතීන්ගේ පසුඋවැටන හා පුනුරුත්තාපන කාර්යයන් ඉටුකිරීමේ විධිමත් මෙන්ම වෘත්තීමය ආයතනය ලෙස රණවිරු සේවා අධිකාරිය 2000 වර්ෂයේදී ස්ථාපනය කරන ලදී.සේනාධිනායක අතිගරු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සාජු හා පූර්ණ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර පවත්වාගෙන ආ රණවිරු සුභසාධන වැඩසටහන් වඩාත් විධිමත්ව හා නීතිමය පදනමක් ඇතිව මෙන්ම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක කිරීමට එමඟින් හැකිවිය.

ආචාර්ය ටාරා ද මෙල් මහත්මිය, වෛද්‍ය නර්මේ වික්‍රමසිංහ මහතා,මේජර් ජෙනරල් නීල් ඩයස්, කර්නල් ලලිත් ගුණරත්න,මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ,අනෝමා ෆොන්සේකා මහත්මිය, පද්මා වෑත්තෑව මහත්මිය, අනෝමා ෆොන්සේකා මහත්මිය, මේජර් ජෙනරල් ජම්මික ලියනගේ සහ මේජර් ජෙනරල් නන්දන සේනාධීර යන අය 2000 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අධිකාරියේ සභාපති ධූරය දරා ඇත. වර්තමානයේ මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතා අධිකාරියේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබයි.

වර්තමානය වන විට රණවිරු සේවා අධිකාරිය ක්‍රියාන්විතයේදී ජීවිත පරිත්‍යාග කළ රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන්ගේත්, ක්‍රියාන්විතයේදී දුබලතාවයට පත්ව විශ්‍රාම ගන්වන ලද රණවිරුවන්ගේත් යුධ ව්‍යසන බලපෑම් කළමනාකරණයේ වෘත්තීමය අත්දැකීම් ඇති එකම ආයතනය මෙන්ම රණවිරුවන්ගේ සහ රණවිරු ඥාතීන්ගේ විශ්වාසය දිනා ගත් ඔවුන්ගේ ආරක්ෂකයා සහ ළඟම ඥාතියාගේ භූමිකාව ඉටු කරනු ලබන රාජ්‍ය ආයතනය බවට පත්ව ඇත.