රණවිරු සේවා අධිකාරිය.

මානවයා ශිෂ්ටාචාර ගොඩනගමින් ක්‍රම ක්‍රමයෙන් දියුණු ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේදී තම වර්ගයාගේ හා ශිෂ්ටාචාරයේ ආරක්ෂාව සඳහා පුහුණු පූර්ණකාලීන ආරක්ෂාකයන් යොදා ගනිමින් ආරක්ෂක සේවාව වෘත්තීමය තත්වයකට පත්කර ගැනීමට කටයුතු කර ඇති ආකාරයක් පැරණි ශිෂ්ටාචාර පිළිබඳ අධ්‍යනයෙන් අනාවරණය කර ගත හැක. ඒ අනුව ඉතා ඈත අතීතයේ සිට ආරක්ෂක සේවාවන් වාත්තීයක් ලෙස සංවිධානගතව වර්තමානයේ ඉතා දියුණු තාක්ෂණික මෙවලම්, යුධ උපකරණ හා යුධෝපක්‍රම භාවිතා කරන තත්වයට පත්ව ඇත. යුද්ධයේදී තම වර්ගයාගේ හා ශිෂ්ටාචාරයේ පැවැත්ම වෙනුවෙන් ලබන වැටුපට සීමා නොවී කටයුතු කරන ආරක්ෂක සේවාවන්හි නියුක්ත වූවන් ඉතා අතීතයේ පමණක් නොව වර්තමානයේ ද වීරත්වය ඔසවා තැබීමටත් ඔවුන්ගේ යැපෙන්නන් සුරක්ෂිතව රැකබලා ගැනීමටත් දියුණු ශිෂ්ට සම්පන්න ජාතීන් කටයුතු කර ඇත.

වර්තමානය වන විට ලෝක භූ දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට බලවත් ජාතිනු ත්‍රස්තවාදය, සිවිල් අරගල හා ගරිල්ලා සටන් උපයෝගී කරගෙන ඇත. එලෙස මිනිසා විසින් නිර්මාණය කර ඇති යුධ ගැටුම් මානවයා බිහිසුණු ව්‍යවසනයකට හසු කිරීමට සමත්ව ඇත. ජාතියක් ලෙස ශ්‍රී ලංකාවටද දශක තුනකට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ ලොව බිහිසුණුම ත්‍රස්තවාදී උවදුරකට මුහුණ දීමට සිදු විය.

එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් හුදු වැටුප අරමුණු කර ගත් වෘත්තීමය එළඹුමකට එහාට ගොස් රාජ්‍ය හා එහි වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත හා ශරීරාංග පරිත්‍යාගයෙන් කටයුතු කර ඇත.

ඔවුන් මුහුණ පෑ බිහිසුණු යුධ ව්‍යවසනය හේතුකොටගෙන ජීවිත පරිත්‍යාග කළ රණවිරු පවුල් වල ළගම ඥාතීන් හා ශරීරාංග පරිත්‍යාග කළ රණවිරුවන් ඇතුළු ළඟම ඥාතීන් මානසිකව, සාමාජීයව මෙන්ම ආර්ථීකව කඩා වැටීමකට ලක්වීම නොවැලැක්විය හැකි කරුණක් වී තිබුණි.

යුධ වින්දිත ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන් හා එම පවුල් සාමාජික සාමාජිකාවන්ට වැටුප හා දීමනා හිමිගන්වමින් ආර්ථීක කඩා වැටීමෙන් ඔවුන් මුදවා ගැනීමට යුධ තත්වය ආරම්භක අවධියේම රජය කටයුතු කර ඇත. 1999 අංක 54 දරණ පනතින් ස්ථාපිත කරන ලද රණවිරු සේවා අධිකාරිය මඟින් දශක දෙකක කාලයක් අඩුපාඩුවක්ව පැවති විධිමත් මනෝ සාමාජීය පුනරුත්තාපන කටයුතු ඉටු කරනු ලබන සිවිල් ආයතනයක අවශ්‍යතාවය සම්පූර්ණ විය. වර්තමානය වන විට රණවිරු සේවා අධිකාරිය ප්‍රජා මූලික පුනරුත්තාපන කටයුතු ඉටු කරනු ලබන ප්‍රධානතම ව්‍යවස්ථාපිත ආයතනය බවට පත්ව ඇත.