ව්‍යාපෘතිය - ආබාධිත රණවිරුවන්ට කාතීම පාද සහ කෘතීම අත් ලබා දීම


රණවිරු සේවා අධිකාරියේ පූර්ණ මැදිහත්වීමෙන් දිවයින පුරා ආබාධිත විශ්‍රාමික රණවිරුවන් හා ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන් හා බිරින්දෑවරුන්ගෙන් සමන්විත වූ “රණවිරු සංසද” නම් සංවිධාන ජාලයක් පිහිටුවා ඇත.

ව්‍යාපෘතියේ තාර්කික බව

ක්‍රියාන්විතයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව ආබාධීත පාදය හා අත් අහිමි වූ යුධ වින්දිත ආරක්ෂක අංශයන්හි සාමාජිකයන් සංඛ්‍යාව 6000 කට අසන්න වේ. ඒ හේතුකොටගෙන ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් වලට බලපෑම් ඇතිව ඇත.යුද්ධය තිබූ දශක තුනක කාලය තුළ රණවිරුවන් අනතුරට පත් ව සුවපත් වූ පසු කෘතීම පාද හා අත් ඔවුනට ලබා දීමට කටයුතු කර ඇත.ආබාධිත රණවිරුවන්ගෙන් 80% පමණ පළදින කෘතීම පාදය වසර 10 – 20 ක් පැරණි පාද වේ.කෘතීම පාදයක් කායික සෞඛ්‍යයට අවම බලපෑමක් ඇතිවන ලෙස භාවිතා කළ හැකි කාලය වසර 3 – 5 ත් අතර වේ. කෘතීම පාදයේ ඇතිවන ඉතා කුඩා වෙනස් වීමක් හේතුකොටගෙන පාදය පළදින පුද්ගලයාගේ අනෙක් පාදයේ, කෘතීම පාදය පළදින පාදයේ සන්ධි වලට හා කොදුඇට පෙළට ඉන් ඇතිවන බලපෑම ඉතා අහිතකර වේ.දැනට පලදින පැරණි කෘතීම පාද හේතුකොටගෙන සන්ධි වල ගෙවීම්,සන්ධී වේදනා හා කොදුඇට පෙළෙහි පිහිටීම වෙනස් වීම හේතුකොටගෙන ‍ කොදුඇට පෙළ රෝගී තත්වයන් ඇති වී ඇත.එබැවින් ආබාධිත රණවිරුවන් කායික පුනරුත්තාපන ක්‍රියාවලියෙහි ලා සෑම විටම ප්‍රසස්ථ ක්‍රියාකාරීත්වයෙන් හා නව තාක්ෂණික වැඩි දියුණු කිරීම් වලින් යුත් කෘතීම පාදයක් පැළදවීම අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත කර්ත්‍යවයක් වී ඇත. එමෙන්ම රණවිරුවන් වෙත ලබා දී ඇති කෘතීම අත් ක්‍රියාකාරී තත්වයෙන් නොමැති අතර පැළද සිටීමට අපහසු බරකින් යුත් ශරීරයේ බාහිර පෙනුම පවත්වාගෙන යාටම ඉවහල් වන ඒවා වේ.වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමඟ ක්‍රියාකාරී තත්වයෙන් යුත් කෘතීම අත් නිෂ්පාදනය කොට ඇත.දෑතම හෝ අතක් අහිමි රණවිරුවන් කායිකව පුනරුත්තාපනය කිරීමෙහිලා ඉහළ තාක්ෂණයෙන් යුත් ක්‍රියාකාරී අතක් ලබා දීම ද අත්‍යවශ්‍ය කර්තව්‍යයක් වී ඇත. මිලියන 21 ක පමණ ජනතාවගේ ශාරීරික සුරක්ෂිත භාවය සුරැකීම වෙනුවෙන් තම අත් හා පාද පරිත්‍යාග කරන ලද රණවිරුවන් වෙත නව තාක්ෂණික ක්‍රියාකාරීත්වයෙන් යුත් කෘතීම පාද හා අත් රණවිරුවන් වෙත ලබා දීම ජාතික වැදගත් කමකින් යුත් කෘත වේදී කර්තව්‍යයකි.එය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට හේතු වන ආයෝජනයක්ද වනු ඇත.

කෘතිම පාද සහ අත් පළදින රණවිරුවන් පිළිබද තොරතුරු

කෘතිම පාද
උකුල් ඇටය ආසන්නයෙන් පාදය ඉවත් කළ රණවිරුවන් සංඛ්‍යාව :12
දණහිසට ඉහළින් පාදය ඉවත් කළ රණවිරුවන් සංඛ්‍යාව :859
දණහිසට පහළින් පාදය ඉවත් කළ රණවිරුවන් සංඛ්‍යාව :4895
කෘතිම අත්
වැලමිටට ඉහළින් අත ඉවත් කළ රණවිරුවන් සංඛ්‍යාව : 127
වැලමිටට පහළින් අත ඉවත් කළ රණවිරුවන් සංඛ්‍යාව :240
අත් දෙකම ඉවත් කළ රණවිරුවන් සංඛ්‍යාව :31

ව්‍යාපෘතියේ අරමුණු

  • පාදය/පාද, අත/අත් අහිමි ආබාධිත රණවිරුවන් සියලු දෙනා කායිකව පුනරුත්තාපනය හා රැක බලා ගැනීම.
  • 2020- 2025 අතර ආබාධිත රණවිරුවන් සියලු දෙනාට අලුතින් කෘතීම පාදයක් ලබා දීම.
  • 2020- 2023 අතර ආබාධිත රණවිරුවන් සියලු දෙනාට අලුතින් ක්‍රියාකාරී කෘතීම අතක් ලබා දීම.


ව්‍යාපෘතියෙන් ආමන්ත්‍රණය වන ගැටළු

  • පාදය ඉවත් කළ ආබාධිත රණවිරුවන් 80% පමණ භාවිතා කරන කෘතීම පාද වසර 10ත් 20 ත් අතර පැරණි අබලන් පාද වීම.
  • බහුතරයක් රණවිරුවන් පළදින කෘතීම පාද වල සන්ධි ප්‍රසස්ථ ක්‍රියාකාරී තත්වයේ නොමැති වීම.
  • ඒ හේතුකොටගෙන පාද වල සන්ධි හා කොදු ඇට පෙළ ආශ්‍රිත රෝගී ත්තවයන් වර්ධනය වීම.
  • ආබාධිත රණවිරුවන් පළදින කෘතීම අත් ක්‍රියාකාරී තත්වයෙන් යුක්ත නොවීම හේතුකොටගෙන අත්‍යාවශ්‍ය දෛනික ක්‍රියාකාරකම් පවා කරගත නොහැකි වීම.

ව්‍යාපෘතිය මගින් වෙනස්කම් සිදු කරනු ලබන ආකාරය

  • ඉල්ලුම්පත්‍ර නිකුත් කිරීම.
  • කෘතීම පාද හා අත් ලබා දිය යුතු ප්‍රතිලාභීන් පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ප්‍රමුඛතා ලේඛණයක් සකස් කිරීම.
  • ‍රසම්පාදන කටයුතු සිදු කිරීම හා සුදුසු ආයතනයක් තෝරා ගැනීම.
  • ‍ප්‍රමුඛතාවය අනුව ප්‍රතිලාභීන්ගේ අවශ්‍ය මිමි ලබා ගැනීම.
  • කෘතීම පාද හා අත් ඇනවුම් කිරීම.
  • කෘතීම පාද හා අත් නිපදවීම.
  • නිෂ්පාදනය කරන ලද කෘතීම පාද හා අත් ප්‍රතිලාභීන්ට පළදවා පරීක්ෂා කිරීම.
  • කෘතීම පාද හා අත් ප්‍රතිලාභීන්ට ලබා දීම.
  • කෘතීම පාද හා අත් පැළදීම හා නිවරදිව භාවිතා කිරීම පිළිබද භෞතික චිකිත්සක හා තාක්ෂණික උපදෙස් ලබා දීම.
  • නියමිත කාලයට අලුත් වැඩියා කටයුතු සිදු කිරීම.