රණවිරු සේවා අධිකාරිය සුභසාධන ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි..

මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට, ආබාධිත රණවිරුවන් හා දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙනුවෙන් සහන මිලක් යටතේ INSEE සිමෙන්ති ලබා දීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත INSEE සිමෙන්ති සමාගම සමඟ 2020.12.07 දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. ඒ අනුව INSEE සිමෙන්ති කොට්ටයක වෙළඳපල පවතින මිළ ගණන රු.1000.00 වන අතර, මෙම ගිවිසුමට අනුව එම සිමෙන්ති කොට්ටයක් රු.860.00ක සහනදායී මිළකට ලබාදෙන අතර, එක් අයෙකුට සිමෙන්ති කොට්ට 350ක ප්‍රමාණයක් පමණක් ලබා ගත හැක. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර, INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක, ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවේ සුභසාධන අධ්‍යක්ෂවරුන්, රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ INSEE සිමෙන්ති සමාගම් කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී. මෙම අවස්ථාවේ දී රණවිරුවන් වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගම ලබා දුන් අනුග්‍රාහකත්වය පිළිබඳ ආරක්ෂක ලේකම්තුමා සිය කෘතවේදීත්වය පිරිනමන ලදී.