සෙනෙහසේ දරුවන් ජාත්‍යාන්තර ඕටිසම් දිනය සෙනෙහසින් සමරයි.

රණවිරු සේවා අධිකාරිය යටතේ පාලනය වන නාරාහේන්පිට පිහිටි සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රය විසින් ජාත්‍යාන්තර ඕටිසම් දිනය සැමරීම සඳහා වන විශේෂ උත්සවයක් එහි අධීක්ෂණ නිලධාරී මෙන්ම රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මැතිනියගේ සහ එහි සේනාවිධායක බ්‍රිෙග්ඩියර් රාජා ගුණසේකරගෙ සංවිධානයෙන් 2021 අප්රේල් මස 8 වන බ්‍රහස්තිපතින්දා එම ආයතන පරිශ්‍රෙය්දී පවත්වනු ලැබීය. පසුගිය අප්‍රේල් මස දෙවන දිනට යෙදී තිබූ ජාත්‍යාන්තර ඕටිසම් දිනය සංකේතවත් කරමින් සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රය යටතේ අධ්‍යාපනය ලබන රණවිරු පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරු දැරියන් සියයකට ආසන්න පිරිසකගේ සහ ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී. මෙහිදී ජාත්‍යාන්තර මැජික් ශිල්පී "මිස්ට මැජික්" විසින් මෙහෙයවන ලද විශේෂ මැජික් වැඩසටහනක් දරුවන් හට ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ ඒකාකාරී ජීවන රටාවට වෙනස් අත්දැකීමක් එකතු කර දීමේ මහඟු පුණ්‍ය කර්තව්‍යයට දායක වීමට අධීක්ෂණ නිලධාරී තුමිය ට හැකිවිය. එදින විශේෂ ඕටිසම් දින සැමරුම් වැඩසටහනට සහභාගි වූ සියලු දරු දැරියන් හට විශේෂ ත්‍යාග පිරිනැමීමට ද අධීක්ෂණ නිලධාරී මෙන්ම රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මැතිනිය විසින් කටයුතු කරන ලදී. ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය , ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ට අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීම අරමුණු කර ගෙන පිහිටුවා ඇත. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති රණවිරු පවුල්වල දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රය විවිධ වූ ධාරාවන් ඔස්සේ සේවාවන් රාශියක් නොමිලේ සපයනු ලබයි. මෙම අධ්‍යාපන කේන්ද්‍රයේ ඉගෙනුම ලබන රණවිරු පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා හොඳ පදනමක් ලබා දීමටත්, ඔවුන්ගේ ස්වාධීනත්වය ගොඩනැගීමට සහාය වීමටත් අවශ්ය වෘත්තීමය මැදිහත්වීම සිදු කරනු ලබයි. සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රයේ සියලුම කාර්ය මණ්ඩලය මෙම උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කරන ලදී.