රණවිරු ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා "එක්ස් ටී" (Ex Tea) එක්වෙයි.

නයිසි ජාත්‍යන්තර පෞද්ගලික සමාගම (NI-CEY INTERNATIONAL PVT LTD) විසින් වෙළදපොල තුල අලෙවි කරන එක්ස් ටී( ExTea) දේශීය තේ සන්නාමය යටතේ කිරි තේ, කෝපි සහ කහට යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කළ හැකි රොබෝ තේ නිෂ්පාදන යන්ත්‍ර 25ක් රණවිරු සේවා අධිකාරියට අයත් රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ අරමුණින් ලබාදීමට එකඟතාව පළ කරන ලදී. මෙහි සංකේතාත්මක හමුවක් රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනිය සෝනියා කෝට්ටේගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නයිසි ජාත්‍යන්තර පෞද්ගලික සමාගමේ (NI-CEY INTERNATIONAL PVT LTD) සහ එක්ස් ටී( ExTea) තේ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි සමාගමෙහි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක ජී. එල්. තිලකරත්න මහතා සමගින් රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේදී 2021 අප්‍රේල් මස 23 වැනි සිකුරාදා දින පැවැත්වීය. මෙහිදී, රණවිරු සේවා අධිකාරියේ සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන රණවිරුවන්ගේ සහ කාර්යමණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි "එක්ස් ටී" ( ExTea), තේ නිෂ්පාදන යන්ත්‍රයක් වැඩ බලන සභාපති තුමිය වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේදී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ කළමණාකරන මණ්ඩල සාමාජික, කණිෂ්ක ද සිල්වා මහතා විසින් සම්බන්ධිකරණය කරන ලද රණවිරු ව්‍යවසායකත්ව දිරිගැන්වීමේ වැඩසටහනක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.