2021 ජාතික රණවිරු සැමරුම් උත්සවයේ දී රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති තුමිය විසින් සිදුකරන ලද පිළිගැනීමේ කතාව...

2021 ජාතික රණවිරු සැමරුම් උත්සවයේ දී රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති තුමිය විසින් සිදුකරන ලද පිළිගැනීමේ කතාව... සුබ සන්ධ්‍යාවක් වේවා !

• ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි,
• පස්වන විධායක ජනාධිපති, වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි,
• හිටපු ජනාධිපති, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි,
• ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ ගරු කථානායක, මහින්ද යාපා අබේවර්ධන මැතිතුමනි,
• ගරු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි ,
• ගරු කැබිනට් අමාත්‍යවරුනි,
• අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලධාරීතුමනි, මාර්ශල් ඔෆ් ද එයාර් ෆොස් නිලධාරීතුමනි,
• රාජ්‍ය අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි,
• ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමනි,
• ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාපතිතුමනි, නාවික හමුදාපතිතුමනි, ගුවන් හමුදාපතිතුමනි,
• පොලිස්පතිතුමනි,
• සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි,
• සියළු රාජ්‍ය නිළධාරීන් සහ ආරාධිත සම්භාවනීය අමුත්තනි,
• යුධ, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා රණවිරුවනි,
• ආදරණීය රණවිරු දෙමාපියනි, රණවිරු බිරින්දෑවරුනි, සෙනෙහෙබර දූ දරුවනි
අවසරයි.

දෙමාපිය ස්වාමි දියණියන්ගේ සෝ සුසුම් මැදින් , මාතෘ භූමිය රැක ගැනීමේ එඩිතර යුග මෙහෙවරට උරදෙමින්, අභීතවත්ව , යුද සංග්‍රාමය නිමාකර, සාමයේ අරුණලු, ලක්වාසීන් වෙත පුද කරමින්, තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ, අභීත, විරෝදාර රණවිරුවන් වෙත, ශ්‍රී ලංකා රජයේ සහ සමස්ථ ජනතාවගේ, ගෞරවාන්විත උත්තමාචාරය වාර්ෂිකව පුද කරන අතර,

2021 වර්ෂයේ, ජාතික රණවිරු අනුස්මරණ රාජ්‍ය උත්සවයේ සමාරම්භය, මෙසේ සනිටුහන් කරමු.

යුද්ධය පොදු ජනතාවගේ අපේක්ෂාව නොවේ. උපන් මාතෘ භුමිය රැක ගැනීම, මිහි මඬලේ උපන් සෑම පුද්ගලයෙකු සතු, අනුත්තර වූ වගකීමක් සහ යුතුකමකි.

නිදහසින් පසු, ගෙවීගිය වකවානුවෙහි අප යුගයේ ජනතාව, දශක තුනකට ආසන්න කාලයක්, සෑම ආකාරයෙන්ම පීඩාවට පත් කරමින්, අප රට තුළ පැවැති යුද්ධය, 2009 වසරේ දී නිමාකොට, වසර 12 ක් සපිරෙන මේ මොහොතේ, ඒ සඳහා තම උත්තරීතර ජීවිත පූජා කළ, අප දේශයේ වීරෝදාර රණවිරුවන්, ජාතියක් වශයෙන් එක්ව, අභිමානවත්ව සමරන මේ මොහොතේ, ඔබ සැම, මේ ආකාරයෙන් ඇමතීමට ලැබීම, මා ජීවිතයේ ලද, ගෞරවයක් සේ සලකන්නෙමි.

දුටුගැමුණු යුගයේ සිට දෙස, බස, රැස රකිනු වස්, එදා මෙන්ම අදත්, රණවිරුවන් සමඟ පෙරමුණ ගත් ගරුතර සංඝරත්නය, රටේ පවතින වර්තමාන තත්වය හේතු කොටගෙන, අද දින මෙම ස්ථානයට වැඩමවා වදාළේ නැති වුවත්, උන්වහන්සේලා සියලු දෙනාම ඉතා ගෞරවයෙන්, පාද නමස්කාර පූරකව මෙම අවස්ථාවේදී සිහිපත් කරමි.

වසර තිහකට ආසන්න කාලයක්, ශ්‍රී ලංකා ධරණී තලය තුළ ක්‍රියාත්මක වූ, කුරිරු ත්‍රස්තවාදය නිමා කරන්නට අති මහත් මෙහෙවරක් සිදු කරමින්, එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ, වර්තමානයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැති තුමන්, ඉතාමත් ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාවට පිළිගන්නෙමි.

එමෙන්ම, ලෝකයේ පරාජය කළ නොහැකියි යයි ප්‍රචලිතව තිබූ, කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය නිමාකර, රටට සාමය උදාකර දීමට, එඩිතරව සහ නිවැරදිව දේශපාලන නායකත්වය ලබාදුන්, එවකට රජයේ අතිගරු ජනාධිපති, වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැති තුමන් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනිමි.

රටම රෝ බියෙන් වෙලා ගත් මෙවන් මොහොතක, අභීත රණවිරුවන් හට තම උත්තමාචාරය පුද කරනු වස්, මෙහි සපැමිණි, හිටපු ජනාධිපතිතුමන් සහ සියලු කැබිනට් අමාත්‍යවරුන් ඉතා ගෞරවයෙන් පිලිගනිමි.

එසේම අප වෙත නිරතුරු අවවාද අනුශාසනා ලබා දෙමින්, රණවිරු ප්‍රජාව ගේ සුභසිද්ධිය වෙනුවෙන්, සුවිශාල මෙහෙවරක් ඉටු කරන ගරු ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මැති තුමන් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා

එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත්, ඔවුන්ගේ දිවි පරදුවට තබා අපගේ දිවි සුරකින්නට ඇප කැප වන, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙන්ම, සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් සියලු දෙනා මේ අවස්ථාවේ ගෞරවයෙන් පිළිගනු ලබනවා.

මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන භූමිකාව ට හිමිකම් කියන, රට දැය වෙනුවෙන් ඔවුන්ගේ වටිනා ජීවිත කැපකල, වීරෝදාර රණවිරුවන්ගේ සෙනෙහෙබර දෙමව්පියන්, බිරින්දෑවරුන්, දරුවන් සහ රට දැයවෙනුවෙන්, ක්‍රියාන්විතයේදී රණක්ෂිතයට පත් සියලු රණවිරුවන් , මේ අවස්ථාවේ ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා

පරාර්ථය වෙනුවෙන්ම කැපවුනු රණවිරුවන් මෙන්ම, ඔවුන්ගේ පවුල්වල ළඟම ඥාතීන් රැකගැනීම මුළුමහත් ජන සමාජයේම වගකීමකි. කළගුණ දත් ජන සමාජයක වගකීම අර්ථ ගන්වමින්, වාර්ෂිකව මැයි මස 19 වන දින සිදු කරන්නා වූ දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම, ගෝලීය වසංගතයක් හමුවේ වුවද මග නොහැරීමට, රටක් ලෙසත් රජයක් ලෙසත් වග බලා ගත් බව, අද දින පවත්වනු ලබන මෙම රණවිරු අනුස්මරණ උත්සවය මඟින්, සමස්ථ ලෝකවාසින්ටම පැහැදිලි වනු ඇත .

අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය, රණවිරුවන් සැමරීම දිනයකට, මාසයකට සීමා නොකර , දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන්, ජිවිතාන්තය දක්වා රැක බලා ගැනීමේ වගකීම හිස මතට ගෙන කටයුතු කරන බව, ඔබ සියලු දෙනා දැනටමත් දන්නා කරුණකි. ඒ වෙනුවෙන් විවිධ බැරෑරුම් තීන්දු තීරණ ගැනීමට සහ, ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවූ බව, ඉතාමත් ආඩම්බරයෙන් මතක් කර සිටිමි.

පසුගිය වසර වල මෙන්ම ඔබට විවිධ පොදු ක්‍රියාකාරකම් සිදු කොට, රණවිරුවන් සැමරීමට මෙවර අවස්ථාව නොලැබුණ ද , රට දැය වෙනුවෙන් දිවි පිදූ ආදරණීය රණවිරුවන් සිහිපත් කරමින්, සෑම නිවසකම අද දින පහනක් දල්වමින්, ඔබගේ ගෞරවය පුදකරන ලෙසටත්, මෙම සතිය තුළ එක නිවසක එක පැලයක් රෝපණය කරමින්, ජාතියට ජීවය ලබා දෙන්නට රණවිරු පවුල් මෙන්ම, සෙසු සහෝදර කළගුණ දත් ප්‍රජාවද , කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

තවද, රණක්ෂිතයට පත් රණවිරුවන්, රණවිරු පවුල් සාමාජිකයින් , ආර්ථික, සාමාජීය, සංස්කෘතික, ආධ්‍යාත්මික සහ අධ්‍යාපනික යන සියලු අංශයන්ගෙන් , සවිබල ගැන්වීමෙහි මෙන්ම , දිවි දුන් රණවිරුවන් සදා අනුස්මරණය කරමින් , රණවිරු නාමය සදාතනික කරවීමෙහිලා , අනුපමේය මෙහෙයක් ඉටු කිරීමට , රණවිරු සේවා අධිකාරිය බැඳී සිටින බව සඳහන් කරනු කැමැත්තෙමි.

මාගේ කතාව අවසන් කිරීමට පෙර, මෙම අසීරු අවස්ථාවේ දී, මෙම ස්ථානයට සම්ප්‍රාප්ත වූ , අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැති තුමනි, ඔබතුමන්ටත්, ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැති තුමනි, ඔබ තුමන්ටත්, ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ ගරු කථානායකතුමන්ටත් මා හිස නමා ආචාර කර සිටින අතර , මෙම ජාතික උත්සවය ආකර්ශනීය අයුරින් පැවැත්වීම සඳහා, කළ අසීමිත කැපකිරීම වෙනුවෙන්, ගරු ආරක්ෂක ලේකම්තුමාටත් , සියලු කර්තව්‍යන්හි මූලිකත්වය ගෙන කටයුතු කළ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපතිතුමා ඇතුලු නිලධාරීන්ටත්, නාවික හා ගුවන් හමුදාපතිවරුන්ටත්, පොලිස්පති තුමාටත්, සියළු රාජ්‍ය නිළධාරීන්ටත්, සහයෝගය දැක්වූ, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නිළධාරීන් සහ සෙසු නිළයන්ටත්, අප හා කවදත් එක්ව කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ටත්, ආරක්ෂක අමාත්‍යංශයේ සියළු නිළධාරීන්ටත්, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලයටත්, නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටත්, මාගේ හදපිරි ප්‍රණාමය කෘතවේදීව පුදකරමි.

අනාගතය ගොඩනැගෙන්නේ අතීත අත්දැකීම් මතය. නිදහසින් පසු දේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් රැසකි. ඔවුන් පිලිබඳ මතකය කාලයේ වැලිතලාවේ නිමග්න නොවීමට, කලගුණ දත් ජන සමාජයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතුව ඇත. එමනිසා අභීත රණවිරුවන් සදා අනුස්මරණය කිරීම, සෑම ජන සමාජයකම සම්ප්‍රදායක් විය යුතුය. එවිට අභීත වීරත්වයෙන් සුසැදි නැවුම් අංකුර, මේ ලාංකීය පොළෝ තලයේ තව තවත් බිහිවනු ඇති බව සනිටුහන් කරමින් මම සමුගනිමි .

ස්තුතියි!
තෙරුවන් සරණයි!

සෝනියා කෝට්ටේගොඩ
වැඩබලන සභාපතිනි
රණවිරු සේවා අධිකාරිය