වසංගතය ගැන ජීවිතයට අපූරු පාඩමක් කියාදුන් ඉබ්බාගමුව රණවිරු ගම්මානයේ කෝප්‍රල් මහින්ද රංජිත්....

1987 මැයි 26 වන දින වඩමාරච්චි ක්‍රියාන්විතයට සහභාගි වී තම වම් අත අහිමි ව පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්ව සිටින පළවෙනි ගජබා රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් මහින්ද රංජිත් රණවිරුවාණන් වර්තමාන කොවිඩ් වසංගත කාලය තුළ අනෙකුත් රටවැසියන්ට ආදර්ශයක් වෙමින් සිදු කරන විශේෂිත වූ වගා සංග්‍රාමයක් පිළිබඳ කුරුණෑගල ඉබ්බාගමුව රණව්රු ගම්මානයෙන් වාර්තා වෙනවා. 1964 වර්ෂයේදී උපත ලබා දැනට වයස අවුරුදු 57 ක් වෙන විශ්‍රාම වැටුපකට හිමිකම් කියන ආබාධිත රණවිරුවකු ලෙසින් නිවසට වී සැඳෑ සමය ගත කරනවාට වඩා ආදර්ශමත් මෙන්ම උද්යෝගිමත් ජීවන රටාවක් තම දිවියට හුරු කර ගත් අපූරු මිනිසකුගේ කතාවක් ඉබ්බාගමුව රණවිරු ගම්මානය පුරා ලිය වී තිබෙනවා. වයස 55න් විශ්‍රාම ගොස් දිවි ඇති තෙක් ලැබෙන විශ්‍රාම වැටුප රැගෙන නිවසට වී සැඳෑ සමය සතුටින් ගත කළ හැකි ඔහු, ඔහුගේ සතුට මාසිකව ලැබෙන වේතනය උපයෝගී කරගනිමින් ජීවත් වනවාට වඩා, තම ස්වෝත්සාහයෙන් නෙලා ගන්නා ඵලදාව දැකීමෙන් ඒ තුළින් උපයාගන්නා ලාභයන් තුළින් සහ එම ක්‍රියාශීලී ජීවන රටාව තුළින් තම ජවයත් මානසික ශක්තියත් තම ආධ්‍යාත්මික ශක්තියත් දියුණු වන බව පවසනවා. තුන්වන කොවිඩ් වසංගත කාලය තුළදී ඔහු විසින් මිලදී ගන්නා අක්කරයක පමණ ඉඩම් කොටසක් තුල මුං ඇට, බඩඉරිඟු සහ තල වගා කරමින් එහි අස්වැන්න නෙළා ගැනීමට තරම් ඔහු ශක්තිමත් වී තිබෙනවා. වෙන කිසිදු පුද්ගලයෙකුගේ අතහිත නොමැතිව තම වම් අත අහිමි ව, තම චිත්ත ශක්තියෙන් ජීවිතය ගොඩනඟා ගැනීමට උත්සාහ දරන මේ මහා රණවිරුවා අද සමස්ත සමාජයටම සපයන්නේ මහඟු ආදර්ශයක්.

click here for more details