රණවිරු දියණියකගේ කෘතවේදී ස්තූතිය....

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පෙනී සිටිමින් කලා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින රණවිරු දියණියක විසින් රණවිරු සේවා අධිකාරිය වෙත තැබූ සංවේදී සටහනකි.

තම කුඩා කලම පියා අහිමිව මවගේ සෙනෙහස හා රැකවරණය යටතේ එක වසරේ සිට උසස් පෙළ දක්වා වසර දහතුනක ගමන්මග විවිධ බාධක කම්කටොලු මධ්‍යයේ රණවිරු සේවා අධිකාරියේ අතහිත දීමත්, රැකබලා ගැනීමත්, සෙනෙහසත් මධ්‍යයේ ඇතිදැඩි වූ දියණියක ගේ සිත් තුළ ජනිත වූ සංවේදී සටහන කාගේත් හදවතට කතාකරන, දෙනෙත් කඳුලින් තෙත් කරන සංවේදී සටහනකි.

2006 වසරේ අගෝස්තු මස 18 වන දින මුහමාලේ ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටියදී, ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද කාලතුවක්කු ප්‍රහාරයකට ගොදුරු වීමෙන් තම ජීවිතය අහිමි වූ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ වීරෝදාර මාණ්ඩලික සැරයන් පී එන් ජයවර්ධන රණවිරුවන්ගේ එකම දියණිය ඇයගේ පියාගේ වියෝවෙන් පසුව තම ජීවිතයේ සාර්ථකත්වයට රණවිරු සේවා අධිකාරිය ලබාදුන් දායකත්වය කෘතඥ පූර්වව සිහිකරමින් ඇය විසින් අප වෙත එවන ලද ලිපියයි මේ.

දයාබර දියණියනි, අප රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවයත් වෙනුවෙන් තම දිවි පිදූ ඔබ පියාණන්ගේ විශිෂ්ට සේවය වෙනුවෙන් අප හිස නමා ආචාර කරමු. ඔබ වැනි දියණියක ගුණ දහමින් යුතු දැරිවියක් ලෙසින් නිර්මාණය කළ ඔබගේ ශ්‍රේෂ්ඨ මෑණියන්ට ද අප කෘතඥ පූර්වක වෙමු.

ඔබගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි රණවිරු සේවා අධිකාරියේ හෘදයාංගම සුභ පැතුම්.