කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියෙන් අත්වැලක්....

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියෙන් අත්වැලක්....

යුද්ධයෙන් තුවාල ලබා දැනට විශ්‍රාමිකව සිටින මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රදේශයේ පදිංචි සාජන් මේජර් ප්‍රදීප් කුමාර හට ඔහු විසින් දැනට පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු ව්‍යාපාරික මට්ටමින් ඉහළ නංවා ගැනීම සඳහා වන අත්වැලක් ලෙස අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගනිමින් තම ව්‍යාපාර කටයුතු පුළුල් කර ගනිමින් දෙපයින් නැගී සිටිමේ අවස්ථාවට උරදීම සඳහා රණවිරු සේවා අධිකාරිය ඉදිරිපත්ව තිබේ.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් යොමු කිරීමේ වැඩසටහනේදි අධිකාරිය විසින් කරුණු සොයා බලා මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රදේශයේ දැනට කාබනික ආශ්‍රිත පලතුරු සහ ආහාර බෝග නිෂ්පාදනයෙහි නිරතව සිටින තුන් වන විශේෂ බලකාය හෙවත් එවකට දිග දුර විහිදුම් බළකායට අයත්ව සිටියදී තම දකුණු පාදය යුද්ධයේදී අහිමිව ගිය රණවිරුවෙකු වන සාජන් මේජර් ප්‍රදීප් කුමාර හට අවශ්‍යය ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා වන මැදිහත්වීම සිදු කිරීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරන ලදී.

එහිදී ව්‍යවසායකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු බවට විශ්‍රාමික ආබාධිත රණවිරුවකු පරිවර්තනය කරමින් සමස්ත රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් වල සාමාජිකයන් මේ සඳහා උනන්දු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යවසායක සංවර්ධන ණය වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10 ක ණය මුදලක් කඩිනමින් ඔහු වෙත පිළිගැන්වීමට රණවිරු සේවා අධිකාරිය විසින් කටයුතු කරමින් සිටී.

2008 වසරේ දෙසැම්බර් විසි දෙවන දින කිලිනොච්චිය මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේ ක්‍රියාන්විතයේ නිරතව සිටියදී අක්කරායන්කුලම්හී දී දිග දුර මෙහෙයුම් බලකායට අනුයුක්ත ව විශේෂ කාර්ය බලකා කණ්ඩායම් නායකයෙකු වශයෙන් රාජකාරි කරමින් සිටියදී ත්‍රස්තවාදීන් ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව තම දකුණු පාදය අහිමි වූ සාජන් මේජර් ප්‍රියන්ත කුමාර ස්වකීය උත්සාහයෙන් සිදු කරගෙන යනු ලබන කෘෂිකාර්මික හා කාබනික පොහොර ආශ්‍රිත ව්‍යාපාර කටයුතු වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම ණය මුදල පිළිගැන්වීම පිළිබඳ සලකා බලා ඇත.

මෙහිදී ඔහුගේ ව්‍යාපාර කටයුතු සහ කාබනික පොහොර නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශය විසින් පසුගියදා ඔහුගේ ව්‍යාපාර කටයුතු සහ එම වගා කටයුතු සිදු කරන භූමීන් නිරීක්ෂණය කරනු ලැබීය.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීමට කැමැත්තක් දක්වන රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් දිරිගැන්වීමේ අරමුණ ඇතිව ව්‍යවසායකත්ව සංවර්ධන සහ කාබනික නිෂ්පාදන වැඩිකිරීමේ නියමු ව්‍යාපෘතියක් ඔහුගේම ගොවිපළක සිදු කිරීම සඳහා වන කටයුතු ද අධ්‍යයනය කරන ලදී.

දේශයෙහි නිදහස උදෙසා තම තාරුණ්‍ය කැප කරන ලද වීරෝදාර රණ විරුවෙකු වන සාජන් මේජර් ප්‍රියන්ත කුමාර දැනට තම උපන් ගමේ දිළිඳු පවුල් 16ට පමණ රැකියාව සලසමින් ඹවුනටද දියුණුවීමේ මං පෙත් විවර කරමින් ව්‍යවසායකයෙකු ලෙස සහ වස විසෙන් තොර ආර්ථිකයක සම්මාදම් කරුවෙකු ලෙස සංවර්ධන කර්තව්‍යයට උර දී සිටින ව්‍යාපාරිකයෙකි.

මෙවැනි කුසලතාවයන්ගෙන් පිරි ව්‍යවසායකයින් ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිව රණවිරු සේවා අධිකාරිය විසින් මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.