"රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය" මාතරින් ගමන් අරඹයි

කාබනික පොහොර නිෂ්පාදනයට සහ වස විසෙන් තොර ආර්ථිකයකට රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් යොමු කරවීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද පළමු දැනුවත් කිරීමේ වැඩසටහන 2021 ජූලි මස 20 වන අඟහරුවාදා මාතර දිස්ත්‍රික්කයේදී පවත්වන ලදි.

මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින විශ්‍රාමික රණවිරු ප්‍රියන්ත කුමාර මහතාගේ ගෙවත්තේ දී යුද්ධයෙන් ආබාධයට ලක්ව මාතර දිස්ත්‍රික්කයෙ ජීවත්වන කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කැමැත්තක් දක්වන තවත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විසි පස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

මෙම සමාරම්භක දැනුවත් කිරීමේ වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් රණක්ෂිතයට පත්වූ රණවිරුවන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු කරවීමේ අරමුණ කේන්ද්‍ර කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කරන ලදී. මෙහිදී කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු වීමට කැමැත්තක් දක්වන ගෘහස්ත මට්ටමින් පොහොර නිෂ්පාදනයේ දැනට නිරතව සිටින තෝරාගත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසිපස් දෙනෙකු විශ්‍රාමික රණවිරු ප්‍රියන්ත කුමාරගේ ආදර්ශමත් ගොවිපල සියැසින් දැක බලා ගනිමින් අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමේ අරමුණ ඇතිව මේ සඳහා සම්බන්ධ වන ලදී.

කෘෂිකාර්මික උපදේශක නිළධාරීන් විසින් මාතර දිස්ත්‍රික්කයේ ආබාධිත රණවිරුවන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමුවිය යුතු ආකාරය විදහා දැක්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී. ඉන් අනතුරුව ප්‍රායෝගිකව කාබනික පොහොර ගෙවත්ත තුළදී නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.

ප්‍රදේශයේ මහා සංඝරත්නය, ප්‍රාදේශීය ලේකම් තුමන්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජිතයින්,ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, දිස්ත්‍රික්ක සංවර්ධන නිලධාරි, ගොවිජන සේවා නිලධාරීන් ඇතුළුව ප්‍රදේශයේ ගොවි නියාමක සහ ගොවි සංවිධාන වල නියෝජිතයන් මෙන්ම රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි වන ලදී.