"රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය" ගාල්ලට
කාබනික පොහොර නිෂ්පාදනයට සහ වස විසෙන් තොර ආර්ථිකයකට රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් යොමු කරවීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද දෙවන දැනුවත් කිරීමේ වැඩසටහන 2021 ජූලි මස 27 වන අඟහරුවාදා ගාල්ල ලබුදූව රජයේ ගොවිපලේදී පවත්වන ලදි.
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුළ රණක්ෂිතයට පත්ව ජීවත්වන කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කැමැත්තක් දක්වන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විසි දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක දැනුවත් කිරීමේ වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් රණක්ෂිතයට පත්වූ රණවිරුවන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු කරවීමේ අරමුණ කේන්ද්‍ර කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගිය සතියේ ආරම්භ කරන ලදී.
මෙහි දෙවැනි වැඩසටහනෙහි දී ගාල්ල ලබුදූව රජයේ ගොවිපළේ කෘෂිකාර්මික උපදේශක නිළධාරීන් විසින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමුවිය යුතු ආකාරය විදහා දැක්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී. ඉන් අනතුරුව ප්‍රායෝගිකව කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ මාධ්‍ය අනුග්‍රහය සඳහා ලංකා බැංකුව අත්වැල් බැඳගෙන සිටී. එමෙන්ම මෙම වැඩමුළුව සඳහා සහභාගි වන කාබනික නිෂ්පාදනයන්ට ව්‍යාපාරික වශයෙන් යොමු වීමට කැමැත්තක් දක්වන රණවිරු පවුල් සඳහා අවශ්‍ය මූල්‍ය සහ ප්‍රාග්ධන පහසුකම් සැලසීමේ මැදිහත්කරුවා ලෙසද ලංකා බැංකුව ඉදිරිපත්ව සිටී.
ලංකා බැංකුවේ බැංකු ප්‍රවර්ධන අංශයේ සහකාර මහා කළමනාකරු, සමන්ත විමලසිරි මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් අධ්‍යක්ෂක තුමන් සහ දිස්ත්‍රික්ක නිලධාරීන් රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි වන ලදී.