"රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය" කළුතරට

කාබනික පොහොර නිෂ්පාදනයට සහ වස විසෙන් තොර ආර්ථිකයකට රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් යොමු කරවීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා හොරණ පිහිටි කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය තුළ සිටින කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කැමැත්තක් දක්වන රණවිරුවන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය.

ප්‍රායෝගිකව කාබනික පොහොර නිෂ්පාදනයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමක් මෙම වැඩසටහන මගින් සිදු කරන ලද අතර මෙම ව්‍යාපෘතියේ මාධ්‍ය අනුග්‍රහය සඳහා ලංකා බැංකුව අත්වැල් බැඳගෙන සිටී. එමෙන්ම මෙම වැඩමුළුව සඳහා සහභාගි වන කාබනික නිෂ්පාදනයන්ට ව්‍යාපාරික වශයෙන් යොමු වීමට කැමැත්තක් දක්වන රණවිරු පවුල් සඳහා අවශ්‍ය මූල්‍ය සහ ප්‍රාග්ධන පහසුකම් සැලසීමේ මැදිහත්කරුවා ලෙසද ලංකා බැංකුව ඉදිරිපත්ව සිටී.