2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් සමඟින් ඉතිහාසයේ පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනාදුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අයත් විශ්‍රාමික සාජන් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ මෙන්ම සියලුම රණවිරු ප්‍රජාවගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා.

හෙල්ල විසිකිරීමේ F46 ඉසව්වේදී මීටර් 67.79 ක් වාර්තා කරමින් පිහිටවු මෙම නව ලෝක වාර්තාව හා ලැබු රන් පදක්කම රටක් ලෙස අප මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබු සුවිශේෂීම ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකියි. ශ්‍රී ලාංකිකයින් ලෙස අපි හැමෝටම මෙම ලෝක පරිමාණයේ ජයග්‍රහණය ගැන ආඩම්බර විය හැකියි.

විශ්‍රාමික සාජන් දිනේෂ් ප්‍රියන්ත හේරත් 2008 වර්ෂයේ කිලිනොච්චිය අක්කරායන්කුලම් ප්‍රදේශයේ මානුෂිය මෙහෙයුම් ක්‍රියාන්විතය අතරතුරදි තම වම් අතට එල්ලවු වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වු අතර වසර 4කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව 2012 වර්ෂයේ දී ඔහු හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවට අවතීර්ණව ඇත. වසර 8කට අධික කාලයක් ඔහු සිදු කල අඛණ්ඩ කැප කිරීම් සහ පුහුණුවීම් වල ප්‍රථිපලයක් ලෙස ඔහු විසින් වැලමිටෙන් පහල අත අහිමි හෝ අප්‍රාණික (එෆ් 46) කාණ්ඩයේ ක්‍රීඩකයන් තරග වදින හෙල්ල විසි කිරීමේ පැරාඔලිම්පික් තරගාවලියේ දී ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා මාතාව වෙත රන් පදක්කමක් හිමි කර දී ඇති අතර ඔහුගේ එම දක්ෂතාවය වෙනුවෙන් ඔහුට අපගේ උණුසුම් සුභ පැතුම් ප්‍රාර්ථනා කරමි.

රණවිරු සේවා අධිකාරියේ උණුසුම් සුභ පැතුම්