රණවිරු සේවා අධිකාරිය අභිමානවත් පොපි මල් සැමරුම අනුස්මරණය කරයි....
රණවිරු සේවා අධිකාරියේ සමස්ත කාර්ය මණ්ඩලය රණවිරු සංසද නියෝජිතයින්, සාමාජිකයින් සහ රණවිරු ප්‍රජාව ඒකරාශී කරගනිමින් සිතින් අප ඔවුන් සඳා සමරන්නෙමු....
ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි පළමු ලෝක මහා සංග්‍රාමයේ දරුණු ප්‍රහාරයට මැදිව ගම්බිම්, ගොඩනැගිලි මෙන්ම සාරවත් ගොවිබිම තුරුලතා සම්පූර්ණයෙන්ම විනාශ වී මඩ ගොහොරු වී තිබිණ.
එදින 1918 වර්ෂයේ අපූර්ව දිනයකි. විශේෂ යමක් සිදුවෙමින් පැවතිණ. මියගිය සොල්දාදුවන්ගේ දේහයන් මිහිදන් කළ සොහොන් මත ඇතිරුණ පස් කඳු මත ලෝහිත පැහැයෙන් වර්ණ ගැන්වුණ පොපි මල් ලක්ෂ ගණනක් එක යායට පිපී මද සුළඟේ නැළවෙන්නට විය. කලකට පෙර දරුණු සටනක් පැවති සලකුනකුදු නොමැත. බිම් බෝම්බ හෙලු රණවිරු ලෙයින් පෙඟුන පොළොවේ රක්ත වර්ණ පොපි මල් (Papaver orientale) පිපී ඇත්තේ යුද්ධයෙන් මිහිතලය කම්පා වී ඇති බව පෙන්වීමට මෙනි.
රාජකීය කැනේඩියානු යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ වෛද්‍ය ඒකකයේ සේවය කළ ලුතිනන් කර්නල් ජෝන් මැක්ක්‍රේ මේ ප්‍රදේශයේ වූ යුද ව්‍යවසනයෙන් මහත් සේ කම්පා විය. යුද්ධයේ අමානුෂික බවින් සසල වූ ඔහු 1918 දෙසැම්බර් 8 දා මියයන විටද මුමුණා ඇත්තේ ‘’කියන්න ඔවුන් හට මියැදුන අප කෙරෙහි විශ්වාසය කඩ කළොත් ඔබ වැඩුනත් පොපි ෆ්ලාන්ඩර් බිම් යායේ නිදි නොගන්නෙමු සදහටම අපි’’ යන්නයි.
පළමුවන ලෝක සංග්‍රාමය ඇරඹෙන්නේ ක්‍රි.ව. 1914 දී ජර්මනියේ කයිසර් විහෙල්ම් රජු මහා බ්‍රිතාන්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙනි. පුරා වසර ගණනක් මුළුල්ලේ සෙබලුන් දහස් ගණනකගේ ලේ, කඳුලු, දහඩිය හා ජීවිත මැදින් ගලා ගිය සටනට තිත තබන්නේ 1918 නොවැම්බර් 11 වැනිදා අත්සන් කල තාවකාලික යුධ නිමා කිරීමේ ගිවිසුම මඟිනි. 1918 නොවැම්බර් 11 දින 1100 පැයට එතෙක් සිවුවසරක් පුරාවට පැවති අති බිහිසුණු අත්දැකීම් ලොවට දායාද කරමින් ලොවම සලිත කළ පළමු ලෝක යුද්ධය නිමා විය. එම යුද්ධයෙන් දහස් ගණනක් මරු වැළඳගත් අතර දහස් ගණනක් තුවාල ලැබූහ. එසේම දහස් ගණනකට උන්හිටි තැන් නැති විය.
යුද්ධයෙන් බේරී දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූ, හැඟුමෙන් අවාසනාවන්ත වූ ඉතිරි අය ගම් බිම් බලා පිය නඟන්නට විය. යුද පීඩාවෙන් හෙම්බත්ව වයසට වඩා මහළු වූ මේ පිරිස එතෙක් හඳුනා නොගත් සාමය ප්‍රාර්ථනා කරන්නට විය. ලුතිනන් කර්නල් මැක්ක්රේගේ සේවය පසසමින් අමෙරිකානු තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කළ මොයිනා මිචෙල් මහත්මිය “දැන් රතු පොපි සහ ගිණිසිළුව පළඳින්නෙමු ප්රාණාමය ලෙස අප මියැදුනන්ගෙ“ ලෙසින් පිළිතුරු පැදි පෙළක් ලිව්වාය.
පළමු වතාවට යුද්ධයෙන් මියගිය විරුවන් සිහි කළ දිනයේ ඇයද පොපි මලක් ගෙන පැළඳ මිතුරන් අතරේ පොපි මල් විකුණා ඉන් ලද මුදල මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනයට යෙදවූවාය. ප්‍රංශ ජාතික මෙඩෙෂි ගෝරින් මැතිණිය ඇයව දිරිමත් කරමින් කෘත්‍රිම සිල්ක් පොපි මලක් නිපදවා ඒවා විකුණා ලැබූ මුදල් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනයට යෙදවූවාය. මෙලෙසින් ඒ පොපි මල් දිනය ඉතිහාසය ආරම්භ විය.
මහා බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ පොපි මල් විකිණීම 1921 දී ප්‍රථම වතාවට ආරම්භ විය. එදා සිට අද දක්වා වසර 90 ක් පුරා පොපි මල් දිනය ජාත්‍යන්තරව සමරණු ලබයි. ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියෙකු වන එඩ්වර්ඩ් ජෝර්ජ් හොනී 1919 මැයි මස 08 දින යුද්ධයෙන් මියගිය අය සිහි කිරීමට විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් රැකීම පිළිබඳ කළ යෝජනාව ගෙන ආවේය. ඒ අනුව 5 වන ජෝර්ජ් රජු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකිය යුතු බවට 1919 නොවැම්බර් 07 දින නියෝග කළ අතර ධාවනය වන දුම්රිය පවා නැවැත්විය යුතු බව අවධාරණ කළේය. එතැන් පටන් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් එසේ නිශ්ශබ්දතාවය සුරකිමින් වාර්ෂිකව යුද්ධයෙන් මියගිය අය සිහි කරමින් පොපිමල් දිනය සමරණු ලබයි.
අපගේම මවුපියන්, දුවා දරුවන්, සොයුරු සොයුරියන් අපි කෙලෙස අමතක කරන්නද ? කෝටි දෙකක් වූ මිනිසුන්ගේ සෝ දුක් නිමා කොට සැනසුම් සුසුම් සුළඟට මුසු කරමින් ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම එක ධජයක් යටතට ගෙන ආ 2009 මැයි 18 වනදා අවසන් වෙඩි හඬ උතුරු පෙදෙසින් අහසට පැන යළි නොයන්නටම සැඟව ගියේය.
රටක යුද්ධයක් පවතින අවස්ථාවක නොබියව ඉදිරියට විත් තමා උපන් දේශයේ ස්වෛරීභාවය රැක ගැනීමට මරණය පෙනී පෙනී යුද සංග්‍රාමය එක්වන්නේ ඒ රටේ ශ්‍රේෂ්ඨ දූ පුතුන්ය. තවත් මිනිසෙකුගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ දිවිය කැප කිරීම තරම් උතුම් පූජාවක්, පරිත්‍යාගයක් මිහිපිට තවත් නැත.
ශ්‍රී ලංකාවේ පොපි මල් සැමරුම ලංකා සේවා මුක්ත භට සංගමය මඟින් මෙහෙවනු ලබයි. යුද්ධයෙන් මියගිය අය සිහි කිරීම වෙනුවෙන් කෙරෙන පොපි මල් සැමරුමට පොපි මලක් පැළඳ, පොපි මල් දමක් ගෙන ඒ සඳහා දායක වන මෙන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය ඉල්ලා සිටී. මෙමගින් ලැබෙන සියලු මුදල් යුද්ධය වෙනුවෙන් අප රටේ යුද්ධය නිසා දිවි පිදූවන්ගේ පවුල්වල සුබසාධනය සඳහා වැය කෙරේ.
ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්…!
අන්තර්ජාලය ඇසුරෙනි...