ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලියේ ජයග්‍රාහකයන් ඇගයීමට ලක් කරයි

පසුගිය දා අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී නිමාවට පත් වූ 2021 ජාතික පැරා බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කරමින් රණවිරු සේවා අධිකාරියට ගෞරවයක් අත්කර දුන් ක්‍රීඩකයන් ඇගයීමේ උත්සවයක් රණවිරු සේවා අධිකාරියේ දී පවත්වන ලදී. රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර ඇතුළු නිලධාරීන් විසින් ජයග්‍රාහී ක්‍රීඩකයන් ඇගයීමට ලක්කරන ලදී.
මෙම තරගාවලිය සදහා රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් තරඟ බිමට එක්වූ බැඩ්මින්ටන් (Badminton) ක්‍රීඩකයින් විසින් කැපී පෙනෙන ජයග්‍රහණ කිහිපයක් අත්පත් කර ගන්නා ලදී. SU 5 කේවල කාණ්ඩයෙන් රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් තරග වැදුණු කෝප්‍රල් ක්‍රිෂාන්ත HTG එම කාණ්ඩයේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. එම කාණ්ඩයෙන්ම තරග වැදුණු සැරයන් ප්‍රනාන්දු D විසින් එහි අනුශූරතාවය දිනා ගන්නා ලදී.
SU5 යුගල කාණ්ඩයෙන් රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් තරග වැදුණු කෝප්‍රල් චන්දිමාල් GR සහ කෝප්‍රල් ක්‍රිශාන්ත HTG එහි ශූරතාවය හිමිකර ගන්නා ලදී. එහි අනුශූරතාව සැරයන් ප්‍රනාන්දු විසින් හිමිකර ගන්නා ලදී.
රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායම් භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන විසින් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කරන ලද සේවය අගය කිරීමට ද සභාපතිතුමා විසින් කටයුතු කරන ලදී.