"රටට ණය නැති - රටම ණය ගැති" රණක්ෂිතයට පත් රණවිරුවන් හට මිලියන 10ක් වටිනා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 50 ක් ලබා දෙයි...

නිදහසේ 74 වැනි සංවත්සරයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණක්ෂිතයට පත් රණවිරුවන් දොළොස්දෙනකු (12) සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වීය.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව සාම්ප්‍රදායික පුනරුත්තාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් ගෘහස්ත සංචරණයට සීමා වන රෝදපුටුවක් ලබාදීම වෙනුවට, රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සබදතා වර්ධනයට ඉවහල් වන දෑත යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකි විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 50 ක් ඉපයීමේ ක්‍රයශක්තිය හීනවීමේ ප්‍රතිශතය පදනම් කරගනිමින් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැරට ගොස් රණවිරුවන් සවිබලගැන්වීමේ ක්‍රියාන්විතයට නායකත්වය දෙමින් රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ ව්‍යවසායක කටයුතු සංවර්ධනය කිරීමටත් රණවිරුවාගේ දෛනික දින චරියාව වඩාත් ථලදායීව හා යහපත් සමාජ ජීවිතයකට ඉවහල්වන මානසිකතාවයක් ඇතිකිරීම සඳහා අවශ්‍ය බලගැන්වීම හා අභිප්‍රේරණය කිරීම මෙම විද්‍යුත් ආරෝපිත යතුරුපැදිය ලබාදීම මගින් සිදුකෙරෙනු ලැබේ.
මිලියන දහයකට ආසන්න වටිනාකමකින් යුත් මෙම විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 50 මිලදී ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා ඉතිහාසයේ ප්‍රථම වරට රජයක් විසින් වෙන් කරන ලද රුපියල් මිලියන 750ක රාජ්‍ය මුදල් භාවිතා කරමින් රණවිරු සේවා අධිකාරිය විසින් මෙම යතුරුපැදි මිලදී ගන්නා ලදී.
මෙහි දිගුවක් වශයෙන් එළඹෙන නිදහස් සතිය තුළදී රත්නපුර, මහනුවර , කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කර ගනිමින් සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තෝරාගත් රණක්ෂිතයටපත් පූර්ණ ආබාධිත රණවිරුවන් වෙත විද්‍යුත් ආරෝපිත යතුරු පැදි බෙදා දීම රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.