කප්රුක රණවිරු ප්‍රණාම -2022

"විරු දෑතට කප් රුකක්" සමාරම්භක වැඩසටහනේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් විසින් පැවැත්වූ දේශනය..
"කප්රුක රණවිරු ප්‍රණාම" වැඩසටහනට සහභාගි වී සිටින සියලුම දෙනාට සුභ උදෑසනක් වේවා...
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිතුමිය, ආචාර්ය මාධවී හේරත් මහත්මියනි,
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අතිල විජේසිංහ මහතා ඇතුළු පොල් වගා කිරීමේ මණ්ඩලය නියෝජනය කරමින් මෙම උත්සව සභාව වෙත සම්බන්ධ වී සිටින සියලුම නිලධාරි මණ්ඩලයෙන් අවසරයි.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරි මහත්ම මහත්මීනී,
දොම්පේ කෑරගල රණවිරු ගම්මානයේ සභාපතිතුමන් ඇතුළු රණවිරු පවුල්වල සහෝදර දයාබර රණවිරුවනි, ආදරණීය රණවිරු පවුල්වල සාමාජිකයිනි,
බස්නාහිර පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් රණවිරු සංසද නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වී සිටින සංසද නියෝජිතයනි, දෙමව්පියනි, බිරින්දෑවරුනි, දූ දරුවනි, අනෙකුත් විශේෂ ආරාධිත අමුත්තනි,
දින දෙකකට පෙර අප විසින් සමරනු ලැබූ 74 වන ජාතික නිදහස් දිනය අරුත්බර නිදහසක් ලෙස සමරන්නට රණක්ෂිතයට පත් රණවිරු ප්‍රජාව වෙනුවෙන් සාධනීය පියවරක් ඉදිරියට තැබූ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති තුමිය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය වෙත සමස්ත රණවිරු ප්‍රජාව වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස ස්තුතිවන්ත වෙමි.
එමෙන්ම මෙවැනි දුරදර්ශී වැඩපිළිවෙළක් හඳුන්වා දීම පිළිබඳව සහ "කප්රුක රණවිරු ප්‍රණාම" ප්‍රධාන වැඩසටහන සඳහා අපව තෝරා ගැනීම වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය මූලිකවම ආචාර්ය මාධවී හේරත් මහත්මිය හට පිළිගන්වමි. 74 වන නිදහස් දිනයට සමගාමිව පොල් වගා කිරීමේ මණ්ඩලය හා රණවිරු සේවා අධිකාරිය එක්ව දිවයින පුරා විහිදී සිටින රණවිරු සංසදය ඒකාබද්ධ කරමින් 'කප්රරුක රණවිරු ප්‍රණාම 2022 - විරු දෑතට කප් රුකක්' වැඩසටහන සංවිධානය කර තිබෙනවා.
මව්බිමේ නිදහස උපදසා කැපවී යුද්ධයෙන් මිය ගිය හා රණක්ෂිතයට පත් වූ රණවිරු පවුල් 2,500ක් අතර නොමිලේ පොල් පැළ බෙදා දීමේ ජාතික වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්තමක කිරීම තුළින් රණවිරු ප්‍රජාව හට ඔබගේ කෘතඥතාවය පළ කරන්නට ඔබ ආයතනය විසින් කටයුතු කර තිබෙන බව මගේ හැඟීමයි..
මෙම වැඩ සටහනේ වැදගත්කම වශයෙන් මම දකින්නේ අද කෑරගල රණවිරු ගම්මානයේ මෙම විශේෂ වැඩසටහනට සමගාමීව තවත් දිස්තික්ක 20කදී පොල් පැළ බෙදා දීමේ වැඩසටහන් පැවැත්වීමට අප හට හැකි වීමයි.
ඔබ ආයතනයේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකි විනයගරුක පවුල් ඒකක 2500ක් තෝරා ගැනීම ඉතාමත් හොඳ ඉදිරි පියවරක් ලෙස මා දකිනවා.
මෙම රණවිරු පවුල්වල සෑම කුටුම්භයක මෙම කප්රුක අනාගතයේදී පල දරාවි.
එම සාර්ථකත්වය පසු විපරම් කරමින් ඔවුන් හට තව තවත් ආධාර උපකාර ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම ඹබ ආයතනය විසින් අනාගතයේදී සිදු කරනු ඇතැයි මම අපේක්ෂා කරමි.
රණව්රු පවුල් ඒකකයට කප්රුකක් ප්‍රදානය කරමින් නිදහසේ සැමරුම අරුත්බර කරමින්, ඔවුන් විසින් රට ජාතිය සහ නිදහස වෙනුවෙන් කරන ලද උත්තරීතර කැපවීම අනුස්මරණයට භාජන කිරීම මම පුද්ගලිකවම අගය කරමි.
ඉදිරියේදී මෙම පවුල් ඒකක අතරින් ව්‍යවසායකත්වය සඳහා නැඹුරුවන සහ ඒ සඳහා කුසලතාවයක් දක්වන පවුල් හඳුනා ගනිමින් ඔවුන් හට අවශ්‍ය සංවර්ධනාත්මක අතහිත ලබාදීම තුළ තවදුරටත් ජාතික ආර්ථිකයට යම් කිසි දායකත්වයක් ලබා දිය හැකි පිරිසක් බවට රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සවිබල ගැන්වීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි.
රණවිරු සේවා අධිකාරියේ වර්තමාන සභාපති වශයෙන් මාගේ අරමුණ සහ දැක්ම වන්නේ සම්ප්‍රදායික සුබසාධන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් රණවිරුවා සහ ඔවුන්ගේ පවුල් ඒකක සවිබල ගැන්වීමේ ක්‍රියාන්විතයට අප මුල පිරිය යුතු බවයි.
ස්තුතියි