ආරක්ෂක ලේකම්තුමා රණවිරු සේවා අධිකාරියේ නිරීක්ෂණ සංචාරයක................

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන අතරින් ආරක්ෂක ලේකම් තුමා සිය ප්‍රථම නිල සංචාරය ලෙස රණවිරු සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක 2020.02.13 වන අද දින නිරත විය. 1999 අංක 54 දරණ පාර්ලිමේන්තු පනතින් රණවිරු සුභ සාධන වෙනුවෙන් පිහිටුවා ඇති රණවිරු සේවා අධිකාරිය මූලික අරමුණ 06ක් සහ ඊට අනුශංගික කාරණා ඉටු කරනු පිණිස පිහිටුවා ඇති රණවිරු සුභ සාධන ආයතනයකි. රණවිරු සේවා අධිකාරිය මගින් රට වෙනුවෙන් දිවි පිදූ, අතුරුදන් රණවිරුවන්ගේ ළඟම ඥාතීන් වෙත හා ආබාධිත රණවිරුවන් වෙත සුභ සාධන කටයුතු සිදු කරගෙන යනු ලබයි. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම රණවිරු සංසද නමින් රණවිරු සංවිධානයක් ගොඩ නගා විධිමත් අයුරින් රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධව රණවිරු සුභ සාධනය විධිමත්ව පවත්වාගෙන යනු ලබයි. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රා) කමල් ගුණරත්න WWV, RWP, RSP, USP, ndc, psc, MPhill රණවිරු සේවා අධිකාරියේ කාර්යය මණ්ඩලය අමතා සිය දේශනය මගින් අවධාරණය කර සිටියේ “රණවිරු සේවා අධිකාරිය මගින් සිදු කරන්නා වූ සේවය අන් රාජ්‍ය සේවයන්ට වඩා සුවිශේෂි එකක් බවයි. මක් නිසාද යත් මාතෘ භූමිය රැකීම සඳහා සටන් වැද, දිවි පිදු, අතුරුදන් රණවිරුවන්ගේ ළඟම ඥාතීන් හා ආබාධිත රණවිරුවන් වෙත සිදු කරන්නා වූ සේවයට අන් රාජ්‍ය සේවයන්ට වඩා උත්තරීතර සේවයක් බවයි. එම උත්තරීතර සේවයට තමාගේ උපරිම ශක්තිය යොදවා ඇප කැප වන ලෙස” වැඩි දුරටත් ආරක්ෂක ලේකම් තුමා අවධාරණය කරන ලදී. ආරක්ෂක ලේකම් තුමාගේ නිල නිරීක්ෂණ සංචාරයට සමගාමීව බාටා පාවහන් ආයතන මගින් එකක් රු 5000.00 වටිනා ක්‍රීඩා පාවහන් යුගල් 12 රණවිරු සේවා අධිකාරියේ පැරා වොලිබෝල් කණ්ඩායම වෙත ලබා දීම ද මෙහිදී සිදු වූ විශේෂ සිදුවිමක් විය. එය බාටා ආයතනයේ කළමණාකරුවෙකු වන ජනිදු වීරසිංහ මහතා අතින් ආරක්ෂක ලේකම් තුමා වෙත ප්‍රදානය කරන ලදී.. එසේම ආබාධිත රණවිරුවන් වෙත ප්‍රදානය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ පදිංචි පියල් සෙනෙවිරත්න මහතා මෙන්ම තිස්ස සේනාධීර, වජිර ද සිල්වා, රමණි නරංගොඩ සහ ප්‍රීනී විතාරනගේ යන මහත්ම මහත්මින්ගේ මුල්‍ය ආධාර මත රු.30,000.00 පමණ වටිනා සනීපාරක්ෂක උපකරණ කට්ටල 04 සහ එක් නාන කාමර අත්වාරු ආධාරකයක් ලබාදීම සුවිශේෂි විය. එම සනීපාරක්ෂක උපකරණ කට්ටල 04 සහ එක් නාන කාමර අත්වාරු ආධාරකයක් රට දැය වෙනුවෙන් ශරීරාංග පුද කළ සෙ/465784 කෝප්‍රල් කේඑම්ජීසීඑම්සී වේගපිටිය රණවිරුවා, 4ක්‍යු01225 බනි 1 එස්පී ජයතිලක රණවිරුවා, සෙ/465323 ඩබ්ජීඩබ් රත්නසිරි රණවිරුවා වෙත 2020.02.13 වන දින ආරක්ෂක ලේකම් තුමා අතින් ප්‍රධානය කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රා) නන්දන සේනාධීර මැතිතුමා පිළිගැනීමේ කතාව පැවැත් වූ අතර ස්තූති කතාව රණවිරු සේවා අධිකාරියේ උපසභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිනිය විසින් සිදු කරන ලදී.