විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබා දීමේ උතුරු මැද පළාත් වැඩසටහන අනුරාධපුර දී

උතුරු මැද පළාත තුල ජීවත් වන අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි තෝරාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදීම අද දින රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර තරුණ සේවා සභාවේ යොවුන් නිකේතනයේ දී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නිලධාරී තුෂාර ජයසිංහගේ සංවිධානයෙන් පැවති මෙම වැඩසටහන සඳහා උතුරු මැද පළාත නියෝජනය කරමින් රණවිරු සංසදවල සාමාජිකයන් සහභාගි විය.
මෙම වැඩසටහන අතර තුර උතුරු මැද පලාත තුල ජීවත් වන රණක්ෂිතයට පත් රණව්රුවන් සඳහා කෘතිම පාද, ඇස් කණ්ණාඩි, සුදු සැරයටි, සෞඛ්‍ය සහ ආබාධිත උපකරණ ලබාදීම ද සිදු විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් පැමිණ සිටි රණවිරුවන් අමතමින්, "රණවිරු සේවා අධිකාරියේ වසර 21ක ඉතිහාසය තුළ රජයක් විසින් භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය උදෙසා යෙදවීම පිණිස රණවිරු සේවා අධිකාරිය වෙත වෙන් කළ මිලියන 750 ක මුදල උපයෝගී කරගනිමින් මෙවැනි ව්‍යාපෘති සිදු කිරීමට හැකිවූ බව ප්‍රකාශ කරන ලදී.
වැඩිදුරටත් අදහස් දක්වමින්, "අපි ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාටත්, ආරක්ෂක ලේකම්තුමාටත්, රණවිරුවන් ගැන හිතලා රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට රණව්රු සේවා අධිකාරිය වෙත රුපියල් මිලියන 750 ක් මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳව" යනූවෙන් පැවසීය.
රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගනිමින් තම දෛනික කටයුතු වල නිරත වීමට උපකාරී වන මෙම විද්‍යුත් ආරෝපිත යතුරු පැදිය භාවිතා කරමින් වඩාත් උසස් මානසික වශයෙන් සතුටු දායක ජීවිතයක් ගත කරනු දැකීම තම අපේක්ෂාව බව ද සභාපතිතුමා මෙම රණවිරුවන් වෙත අදහස් දක්වමින් සදහන් කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ පෞද්ගලික සහකාර, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක, තුෂාර ජයසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී, සුපුන් මිල්ලවාන සහ සොනාලි නානායක්කාර, පොලොන්නරුව දිස්ත්‍රික් නිලධාරී, කසුන් ප්‍රේමරත්න සහ රණවිරු පවුල් වල සාමාජිකයින් මේ සඳහා සහභාගි විය.