බදුල්ලට රණවිරු ජංගම සේවයක්...

රණවිරු සේවා අධිකාරිය මගින් 2020 වසරේ වැඩසටහන් සැලසුම අරමුණු කර ගනිමින්, ලංකාව පුරා පිහිටුවා ඇති රණවිරු සංසදයන්හි සාමාජිකයන්ගේ අවශ්‍යතා සොයා බලා ඊට කඩිනම් පිළියම් යෙදීම පිණිස සංවිධානය කළ රණවිරු ජංගම සේවා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2020 පෙබරවාරි මස 26 වන දින බදුල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී . රණවිරු සංසද නිලධාරින් හා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රණවිරු පවුල්වල අවශ්‍යතා සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පවත්වන ලද මෙම වැඩසටහනට රණවිරුවන් හා රණවිරු පවුල්වල ළඟම ඥාතීන් 170 පමණ සහභාගී විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රා) නන්දන සේනාධීර මහතා අධ්‍යක්ෂතුමා ඇතුලු කාර්යය මණ්ඩලය මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් මෙම ජංගම සේවයට සහභාගී වී රණවිරු ප්‍රජාවගෙ අවශ්‍යතා හඳුනාගෙන ඒ සඳහා සහන සැලසීමට සක්‍රීයව කටයුතු කරන ලදී. මෙම වැඩසටහනට සමගාමීව යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ මැදිහත් වීමෙන් රණවිරු සෙවන මගින් ලබා දෙන ලද රෝද පුටුවක් යුද හමුදාවේ 5 වන ගැමුණු හේවා බලඇණියේ දණහිසට ඉහළින් පාද දෙකම ඉවත් කළ සෙ/ 401927 කෝප්‍රල් උදය කුමාර (විශ්‍රාමික) රණවිරුවාට ප්‍රදාන කරන ලදී. අනතුරුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා රණවිරු සේවා අධිකාරියේ බදුල්ල පළාත් කාර්යාලයේ නිරීක්ෂණ සංචාරයක ද නිරත විය.