කාබනික වී වගාවේ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීමේ දැනූම රණවිරුවන් හට ලබාදෙයි

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ සංවිධානයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම ඥාතීන් සඳහා කාබනික වී වගාව තුලින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි සරල තාක්ෂණික ක්‍රම ඇතුළත් ප්‍රායෝගික පුහුණු වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මැදිරිගිරිය, ඛිසෝපුර ගම්මානයේදී පසුගියදා පවත්වන ලදී. කාබනික වී වගාව තුළින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි සරල තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් කෘෂි කර්මාන්තයේ නියැලී සිටින රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් රණව්රු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබීය. මෙම දිප ව්‍යාප්ත වැඩසටහන් මාලාව රණවිරු සංසද ආශ්‍රිතව සිදු කිරීමට නියමිත අතර මෙහිදී මූලික වශයෙන් රණක්ෂිතයට පත් රණවිරු පවුල් 100 ක් ඉලක්ක කරමින් ඔවුන්ගේ ව්‍යවසාය සංවර්ධනය ඉලක්ක කොට සිදුකරනු ලබයි.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් වස විසෙන් තොර කාබනික ගොවිතැන සඳහා සමාජයට පූර්වාදර්ශයක් ලබාදිය හැකි ව්‍යාපෘතියක් ලෙස ද මෙය ක්‍රියාවට නැංවෙයි. රණක්ෂිතයට පත් තෝරාගත් රණවිරුවන් යොදා ගනිමින් මෙම වැඩසටහන සිදු කිරීම තුළින් සමාජයට පූර්වාදර්ශයක් ලබාදීම ද මෙමගින් අරමුණු කෙරේ.
දිවයින පුරා විසිරී සිටින යුද්ධයෙන් තුවාල ලැබූ විවිධ වූ අපහසු තාවයන් මත සිටින සිතින් සවිමත් අපගේම රණවිරුවන් සමාජ ආදර්ශයක් කොටගෙන අනෙකුත් ගොවි ජනතාවට ද මේ සදහා සම්බන්ධ වීමේ දිරි ගැන්වීමක් ලෙස මෙම කටයුතු සංවිධානය කරනු ලැබේ.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන ලදී. මෙම වැඩසටහන සිදුකිරීම රණවිරු සේවා අධිකාරියේ, ව්‍යවසාය සංවර්ධන අංශයේ, විශේෂ පුහුණු නිලධාරී කෝප්‍රල් සුමිත් කුමාර විසින් මෙහෙයවනු ලබන අතර පළාත් සහ දිස්ත්‍රික් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව රණවිරු සංසද සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදුකරනු ලබයි.