කාබනික වගාවේ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීමේ දැනූම ඇඹිලිපිටිය රණවිරුවන් 50 දෙනෙකු හට ලබාදෙයි

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ සංවිධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම ඥාතීන් සඳහා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට සමගාමීව කාබනික පොහොර භාවිතය, ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටුවීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන ඇඹිලිපිටිය සංසද ලේකම් එන්.ඩි.එස් සුදර්ශනී මහත්මියගේ නිවසේදී පසු ගියදා පැවැත්විණි.
කාබනික වී වගාව, පොහොර භාවිතය සහ ගෙවතු වගාව තුලින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි සරල තාක්ෂණික ක්‍රම ඇතුළත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මෙම වැඩසටහන තුළින් සිදු කරන ලදී.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් රණව්රු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයකට අනුව වස විසෙන් තොර කාබනික ගොවිතැන සඳහා සමාජයට පූර්වාදර්ශයක් ලබාදිය හැකි ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.
රණක්ෂිතයට පත් කෘෂිකර්මාන්තය කෙරෙහි ඇල්මක් දක්වන තෝරාගත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම ඥාතීන් යොදා ගනිමින් මෙම වැඩසටහන සිදු කිරීම තුළින් සමාජයට පූර්වාදර්ශයක් ලබාදීම ද මෙමගින් අරමුණු කෙරේ.
දිවයින පුරා විසිරී සිටින යුද්ධයෙන් තුවාල ලැබූ විවිධ වූ අපහසු තාවයන් මත සිටින සිතින් සවිමත් අපගේම රණවිරුවන් සමාජ ආදර්ශයක් කොටගෙන අනෙකුත් ගොවි ජනතාවට ද මේ සදහා සම්බන්ධ කරවීමේ දිරි ගැන්වීමක් ලෙස මෙම කටයුතු සංවිධානය කරනු ලැබේ.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන ලදී. මෙම වැඩසටහන සිදුකිරීම රණවිරු සේවා අධිකාරියේ, ව්‍යවසාය සංවර්ධන අංශයේ, විශේෂ පුහුණු නිලධාරී කෝප්‍රල් සුමිත් කුමාර විසින් මෙහෙයවනු ලබයි.
සබරගමුව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ විජේරත්න, රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී, ගයාන් විජේවික්‍රම සහ ඇබිලිපිටිය, කොළොන්න, ගොඩකවෙල රණව්රු සංසද සාමාජිකයන් 50 දෙනෙකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගි විය.