මහඔය රණවිරු සංසද සාමාජිකයන් 25 දෙනෙකු සදහා කාබනික වී ගොවිතැන පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු ව්‍යවසාය සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශයේ දායකත්වයෙන් ක්‍රියාන්විත රාජකාරියේ දී රණක්ෂිතයට පත් රණවිරුවන් හා ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට සමගාමීව කාබනික පොහොර භාවිතය, ගෙවතු වගාව සහ වී ගොවිතැන නගා සිටුවීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහන අම්පාර දිස්ත්‍රික් නිලධාරිනී තරණි නිවර්තිකාගේ සංවිධානයෙන් මහඔය සංසද සාමාජික රණවිරු ඒ.එම් සුමිතිපාල මහතාගේ නිවසේ දී පසුගියදා පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ කොප්‍රල් සුමිත් කුමාර සහ මහවැලි අධිකාරියේ නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය රණවිරු සංසද සාමාජිකයන් 25 දෙනෙකු සහභාගී විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ සංකල්පයක් මත සිදු කරනු ලබන මෙම වැඩසටහන තුළින් විශ්‍රාමික රණක්ෂිතයට පත් රණවිරු ප්‍රජාව දැයේ සංවර්ධනයට දායක කරගනිමින් සමාජයට පූර්වාදර්ශයක් ලබාදීම අපේක්ෂා කෙරේ.