13 වන ජාතික රණවිරු සැමරුම අභිමානවත්ව සැමරේ...

"13 වන ජාතික රණවිරු සැමරුම” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති, සේනාධිනායක අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල ජාතික රණවිරු ස්මාරකය අභියසදී 2022 මැයි මස 19 වන දින චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ.
දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරේ.
එහිදී යුද, ගුවන්, නාවික, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවන් විසි අට දහසකට (28000) ආසන්න ප්‍රමාණයක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අතර රණවිරුවන් විසි හත් දහසකට (27000) අධික පිරිසක් සටනේදී ආබාධිත තත්ත්වයට පත් වූයේය. ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් මව්බිමේ රණවිරුවන් වෙත ගෞරවය පුද කිරීම මෙම සැමරුම් උත්සවයේදී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් අතිගරු ජනාධිපතිතුමන් උත්සව භූමිය වෙත පිළිගනු ලැබීය.
ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිස මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික),නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා,නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවාගේ (විශ්‍රාමික) සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් රණවිරු ස්මාරකය පාමුල මල්කළඹ තබා මියගිය රණවිරුවන් වෙනුවෙන් උත්තමාචාරය පුද කළහ.