බස්නාහිර පළාතේ විරු දරුවන් හට මුතුහරෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ජාතික රූපවාහිනියේ ජාත්‍යන්තර මුතුහර ළමා සමාජ වලට අනුබද්ධ දෝහා කටාර්, එංගලන්තයේ ලන්ඩන් නුවර සහ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සහ සිඩ්නි නුවර පදිංචි ශ්‍රී ලාංකික දරු දැරියන් විසින් පරිත්‍යාග කරන ලද පාසැල් උපකරණ බෙදාදීමේ පළමු අදියර වශයෙන් බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි රණ විරු දරුවන් උදෙසා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 අගෝස්තු මස 30 වන අගහරුවාදා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ජාතික රූපවාහිනියේ මුතුහර ළමා වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂ උදාන්ත කමල් ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී යුද්ධයෙන් මියගිය සහ රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියට අනුයුක්තව රාජකාරි කොට යුද්ධයෙන් මියගිය සහ රණක්ෂිතයට පත් වූ රණවිරුවන්ගේ තෝරාගත් රණවිරු දරු දැරියන් 70 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාගය රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ මගපෙන්වීම යටතේ සිදු විය.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය සහ සෙනෙහස විශේෂ අධ්‍යාපන කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිළධාරිනි, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්, අංශ ප්‍රධානීන්, වැඩසටහන් නිළධාරීන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් රණවිරු දෙමව්පියන් සහ දූ දරුවන් මෙම අවස්ථාවට සහභාගි විය.