සෙනෙහසේ දරුවන් ජාතික පැරා මලල ක්‍රීඩා ජයග්‍රහණ 6 ක් හිමිකර ගනී.

රණවිරු සේවා අධිකාරියට අනුබද්ධව ක්‍රියාත්මක වන සෙනෙහස විශේෂ අධ්‍යාපන ආයතනයේ "SERRIC" ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් 2022 ජූනි මස 28 සහ 29 යන දෙදින පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වූ "ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය " සඳහා තරග වැදුණු තරගකරුවන් 06 දෙනෙක් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.
එම ශූරතාවලියේ දී රන් පදක්කම් එකක්, රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් තුනක් ආදී වශයෙන් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට "සෙනෙහසේ" දරුවන් සමත් වූහ.
අවුරුදු 18න් පහළ ඩවුන්සින්ඩ්‍රෝම් දරුවන් සඳහා වූ මීටර් 100 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට කළණ බුද්ධිම ගුණතිලක සමත් වූ අතර චමත් ටිෂාන් පියරත්න විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. අවුරුදු 18 න් පහළ ඩවුන්සින්ඩ්‍රෝම් මීටර් 200 ධාවන තරග ඉසව්වෙන් යසස් දසන්ත රිදී පදක්කම දිනාගත් අතර මියුරාන් ප්‍රභාශ්වර ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.
එමෙන්ම අවුරුදු 18න් ඉහල ඩවුන්සින්ඩ්‍රෝම් මීටර් 200 ධාවන තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජනිත් ජීවන්ත සමත් විය.
තවද අවුරුදු 18න් පහළ යගුලිය විසි කිරීමේ තරග ඉසව්වෙන් 4 වන ස්ථානය දිනා ගැනීමට නළමුදු යසිඳු සමත් සමත් වූ අතර අවුරුදු 18න් ඉහල යගුලිය විසි කිරීමේ තරග ඉසව්වෙන් පස්වන ස්ථානය හිමි කර ගැනීමට ජනිත් ජීවන්ත සමත් විය.
2022 පැරා මළල ක්‍රීඩා තරගාවලි⁣යෙහි සිය දස්කම් විදහාපාමින් ජාත්‍යන්තර තලයට "සෙනෙහස" නාමය ඔසවා තැබූ අපගේ විශිෂ්ට තරඟකරුවන් හට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මැතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්යය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම් මෙසේ පිළිගන්වන අතර, තවදුරටත් ක්‍රීඩා කෞෂල්‍යයන් විදහාපාමින් ඉදිරියේදී තව තවත් ජාතික සහ ජාත්‍යන්තර තරග ජයග්‍රහණ ලබන්නට ඔවුනට හැකිවේවායි ආශීර්වාද කරමු.
එමෙන්ම මේ සඳහා දරුවන් පුහුණු කළ ක්‍රීඩා උපදේශකවරුන්, ගුරු මණ්ඩලය සහ සහයක ගුරුවරියන් මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්හට සහ "SERRIC" ක්‍රීඩා සමාජයේ කලමණාකරණ මණ්ඩලයට රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු.