රණවිරු පවුලකට ගම්පහෙන් ඉඩමක් ලබා දෙයි

ඉඩමක් නොමැති රණවිරු පවුලක් සඳහා ගම්පහ ප්‍රදේශයෙන් ඉඩම් කැබැල්ලක් ලබා දීම සඳහා ඔප්පු අත්සන් කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී පවත්වන ලදී.
ඉඩමක් නොමැති රණවිරුවකු වෙත ලබාදීම සඳහා වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලින් වන ධනසීලි කුමාරසිංහ සහ පියසීලි කුමාරසිංහ මහත්මියන් විසින් තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 10.20 ක ඉඩම ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ මියගිය රණවිරුවකුගේ බිරිඳ වන ඩී.ඩී සමන්ති කුමාරි ප්‍රනාන්දු (මහේෂ් පද්මකුමාර රණවිරුවාගේ) වෙත ලබා දීම සිදු කරන ලදී.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අලුත්කුරු කෝරළේ දාසිය පත්තුවේ ම්නුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වතුමුල්ල ගමෙහි පිහිටි පර්චස් 10.20 ක දෙල්ගහවත්ත ඉඩම් කැබල්ල සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව ඉහත සඳහන් රණවිරු පවුල සඳහා ඔප්පු අත්සන් කිරීම සහ තාවකාලික බලපත්‍රය පිරිනැමීම රණවිරු සේවා අධිකාරියේ සභාපති ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.