නිපෝන් ලංකා පදනමෙන් රණවිරු දූ දරුවන් 191 දෙනෙකු හට අධ්‍යාපනික ශිෂ්‍යත්ව හිමිගැන්වීමට කටයුතු කෙරේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම්, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක ස්ථවිර, පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමිපාණන් විසින් රණවිරු දූ දරුවන් සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව හිමි ගැන්වීමට එකඟතාවය පළ කර ඇත.
සමාජසේවා කටයුතු සඳහා විශේෂ උනන්දුවක් දක්වන මෙම විහාරස්ථානයේ විශේෂ දායිකාවක ලෙසින් කටයුතු කරන ප්‍රබෝධනී මාරසිංහ මහත්මියගේ මැදිහත්වීම මත මෙම අධ්‍යාපනික ශිෂ්‍යත්ව රණවිරු දරුවන් හට ලබා ගැනීමේ අවස්ථාව උදා විය.
මෙම වැඩසටහන යටතේ ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය සහ තුවාල ලැබූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරු දූ දරුවන් සඳහා දස වසරක කාලයක් සඳහා හිමිවන පරිදි අධ්‍යාපනික ශිෂ්‍යත්ව හිමි ගැන්වේ.
මෙමගින් රණවිරු දූ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පාසල් උපකරණ, නිල ඇඳුම් සහ මූල්‍යමය පරිත්‍යාගයන් ද ඇතුළුව වාර්ෂිකව මෙම අධ්‍යාපනික ආධාර හිමි ගැන්වීම අපේක්ෂා කරනු ලබයි.
ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය සහ ජපන් ශ්‍රී ලංකා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මෙම අධ්‍යාපනික ශිෂ්‍යත්වයන් 191 රණවිරු දූ දරුවන් හට ප්රදානය කර සිටින්නේ ඉමහත් සතුටිනි.
මීට දින කිහිපයකට ප්‍රථම දී රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම් ස්වාමීන් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව මේ සබැඳි ඉල්ලීම සිදු කරන ලදී.
මෙම උතුම් ක්‍රියාව වෙනුවෙන් සමස්ත රණවිරු ප්‍රජාව සහ රණවිරු දූ දරුවන් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය වෙත සහ මෙම වැඩසටහන සම්බන්ධීකරණය සඳහා විශේෂ මැදිහත්වීමක් සිදුකළ ප්‍රබෝධනී මාරසිංහ මහත්මිය වෙත ද ස්තුති පූර්වක වන්නෙමු.