රු. මිලියන 10.48 ක් වටිනා විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 20ක් රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා ලබා දෙයි

2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් රණක්ෂිතයටපත් රණවිරුවන් කායිකව සහ මානසිකව සවිබල ගැන්වීම සදහා සහායක උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ රු.524222.20 බැගින් වටිනා වැලමිටෙන් පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත් 20ක් රණවිරුවන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. මෙම කෘත්‍රිම අත් 20 සදහා රු.මිලියන 10.48ක මුදලක් වැය දරා ඇත.
රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයක් මත 2021 වසරේ දී රණවිරුවන් වෙත මෙම කෘත්‍රිම අත් ලබාදීමට අවැසි කටයුතු සිදුකරන ලදී. මෙම විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත රණවිරුවාගේ අතෙහි ස්නායු ක්‍රියාකාරිත්වය මගින් පාලනය කරනු ලබයි. මෙම කෘත්‍රිම අතෙහි ක්‍රියාකාරිත්වය මගින් යමක් අල්ලා ගැනීමට හැකියාව ඇත. වැලමිටෙන් පහළ අත අහිමි වූ රණවිරුවන් වෙත මෙම විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත ලබාදීම මගින් අපේක්ෂා කරනුයේ රණවිරුවා කායිකව සවිබලගැන්වීම සහ යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වයං අභිමානයෙන් යුතුව කටයුතු කිරීමත් රටෙහි ආර්ථිකයට ඵලදායී ව්‍යවසායකයකු ලෙස දායකත්වය දීමට අවැසි සහයෝගය ලබාදීමයි.
මෙම කෘත්‍රිම අත් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ හා දිස්ත්‍රික් නිලධාරීන් මගින් රණවිරුවන් වෙත ලබාදීම නිල වශයෙන් සංකේතවත් කරමින් අද දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඩී.ටී.ටී.අබේසිංහ රණවිරුවා වෙත වැලමිටට පහළ විද්‍යුත් ක්‍රියාකාරී කෘත්‍රිම අත ප්‍රදානය කිරීම රණවිරු සේවා අධිකාරියේ දී සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරී ⁣ලුතිනන් කර්නල් රොහාන් පෙරේරා , හමුදා සම්බන්ධීකරණ අංශය නියෝජනය කරමින් මේජර් රනිල් බලගල්ල මහතා පළාත් , පුනරුත්ථාපන හා පසුඋවටැන් අංශයේ වැඩසටහන් නිලධාරිනී නෙත්මි ගයත් ශ්‍රී සහ අනුයුක්ත පොලිස් සැරයන් නාලක බණ්ඩාර මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.