උපාලි වීරසිංහ රණවිරුවාගේ එළවළු වගාව....

කිරි පෝරුව, ඇරාපොල, ඇහැලියගොඩ පදිංචි 4 වන ගැමුණු හේවා බල ඇණියේ සේවයේ යෙදී සිටියදී 2001.09.27 දින මුහමලේ ප්‍රදේශයේදී දී තුවාල ලබා දකුණු පාදය දණහිසෙන් පහල කොටස ඉවත් කරන ලද ඩබ් ඒ උපාලි වීරසිංහ රණවිරුවා අක්කර 04 ක භූමි භාගයක 2006 වර්ෂයේ සිට එළවළු වගාවන් පවත්වාගෙන යන අතර දැනට එහි එළවළු ප්‍රභේද 30 වගා කරයි. මේ සඳහා 15 දෙනෙකුගේ මිනිස් ශ්‍රමයක් යොදා ගෙන ඇත. දියණියන් තිදෙනෙකුගේ පියෙක් වන ඔහුගේ බිරිද මේ වන විට කොදු ඇට පෙලේ ආබාධයකින් පීඩා විදියි. හොඳ වෙළඳ පොලක් ඇති එළවළු වගාව තවත් අක්කර 30 ක් දක්වා වැඩි දියුණු කිරීමට බලා පොරොත්තු වන බව රණවිරුවා වැඩි දුරටත් දන්වා සිටින ලදී. රට දැය වෙනුවෙන් සිය මාතෘ භූමියට යුතු කම් ඉටු කළ පාද අහිමි රණවිරුවාගේ දැඩි අදිටන සමස්ත ගොවි ජනතාවටම ආදර්ශයක් වනු ඇත.