පූරෝගාමී සාමාජිකයකුගේ ගෞරවාන්විත නික්ම යෑම මෙසේ සනිටුවහන් විය

2000 වර්ෂයේ ජුනි මස 12 වනදා රණවිරු සේවා අධිකාරියේ ආරම්භක සාමාජිකාව ලෙසින් එවකට අරලියගහ මන්දිරය ආශ්‍රිතව ජනාධිපති කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ රණවිරු සුබසාධනය උදෙසා ස්ථාපිත කරන ලද රණවිරු සේවා අධිකාරියේ සමාරම්භක සාමාජිකාව වන තුලානි දන්තනාරායන දේවමිත්ත මහත්මියගේ ගෞරවාන්විත විශ්‍රාම යාමේ උත්සවය 2022 දෙසැම්බර් මස 29 වැනි දින රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් ඉතා චාම් සහ ගාම්භීර උත්සවයක් ලෙස සියළු සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
රණවිරු සේවා අධිකාරිය ආරම්භයේ සිට වසර 22ක තම සේවා දිවිය තුල යුද්ධයෙන් මියගිය හා තුවාල ලැබූ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන ව්‍යාපෘතීන් උදෙසා විවිධාකාරයෙන් තම පෞද්ගලික සම්බන්දකම් සහ සේවා රාමුවෙන් පිටතට ගොස් ඔවුන් වෙනුවෙන් දැක්වූ ඉමහත් සේවය අගය කිරීමක් වශයෙන් මෙම චාම් උත්සවය සංවිධානය කොට තිබුණි.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරුන් සහ සභාපතිනියන් 9 දෙනකු යටතේ ඉතා විනයගරුකව සහ ඉතාම ගෞරවණීය වූ දුෂ්කර වූත් මහා කැපකිරීම් මත ගොඩනැගුණු වසර 22 ක සේවා කාලය අවසානයේ තම 60 වන ජන්ම දිනය සමරන මොහොතේ රාජකාරි ජීවිතයෙන් විශ්‍රාම යන අපගේ පළමුවන ස්ථිර සාමාජිකාව වෙත ඇයගේ විශ්‍රාම දිවියත්, පවුල් ජීවිතයත් සාර්ථක වේවායි යනුවෙන් අප සැම දෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටින්නෙමු.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි, නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.