මාතලේ දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් ජංගම වැඩසටහනක්

2023 වර්ෂය සදහා රණවිරු සේවා අධිකාරියේ සේවාලාභීන් ව්‍යාප්තව සිටින පළාත් 8ක රණවිරු සංසද 268ක් ආවරණය කරමින් සිදු කෙරෙන රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (10, ජනවාරි) දින පවත්වන ලදී.

මෙම රණවිරු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි විය. සාම්ප්‍රදායානූකූලව ආගම සිහිකිරීමෙන් අනතුරුව රණවිරු පාඨය ප්‍රකාශයට පත් කරමින් රණවිරු අනුස්මරණය සිදුකිරීම සහ රණවිරු සේවා අධිකාරියේ තේමා ගීතය වාදනය කිරීම සිදු කිරීමෙන් අනතුරුව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක, කේ.ටී.සී.එන් කමල්සිරි මහතා විසින් පිළිගැනීමේ කතාව සහ මෙම වැඩ සටහනේ අරමුණ පැහැදිලි කරන ලදී.

මාතලේ දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් චමිලා අතපත්තු මහත්මියද මෙම අවස්ථාව සහභාගී වූ අතර සංසද නිලධාරී සහ සාමාජික ගැටළු සාකච්ඡාවට භාජනය කරමින් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ ගැටළු සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජංගම සේවා කඳවුරක් පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම ජංගම වැඩසටහන සඳහා සහභාගී විය.