රණවිරු ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අත්වැලක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කරන රණවිරු ව්‍යවසාය සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භය 2023 ජනවාරි මස 17 වන අගහාරුවාද කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්විය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ ආරාධනයෙන් පැවති මෙම පාවහන් නිෂ්පාදනය කිරීමේ ව්‍යවසායක පුහුණු වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික් නියෝජනය කරන රණවිරු සේවා අධිකාරියේ තෝරාගත් රණවිරු ව්‍යවසායකයන් 25 දෙනෙකු රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැති සමාරම්භක වැඩසටහන සඳහා සහභාගි විය.

බාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහකත්වය මත මාස දෙකක කාලයක් ආවරණය වන පරිදි පවත්වනු ලබන මෙම පුහුණු වැඩසටහන අවසානයේ දී රණවිරු නිෂ්පාදන මිලදී ගනිමින් ඔවුනට අවශ්‍ය ව්‍යවසායක අත්වැල ලබාදීම සඳහා බාටා සමාගම විසින් කටයුතු කරනු ලබයි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ආවේණික වූ ව්‍යවසායක සංවර්ධන පාඨමාලා දෙසීයක් අතුරෙන් දිවයිනේ එක් එක් ප්‍රදේශයන්ට ගැලපෙන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් රණවිරු ව්‍යවසාය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා ඉදිරියේදී පැවැත්වීමට ද කටයුතු කරන බව එහි සභාපතිවරයා මෙම වැඩසටහනේදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්ප්‍රදායානුකූලව ආගම සිහි කිරීමෙන් අනතුරුව රණවිරුවන් අනුස්මරණය කිරීමෙන් පසුව මෙම විශේෂ පුහුණු වැඩසටහනේ පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කථනයන් ගෙන් ද පසුව රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) විසින් සභාව අමතනු ලැබීය.

රණවිරුවන් වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා සිදු කරන මහඟු කර්තව්‍යය උදෙසා කාරමික සංවර්ධන මණ්ඩලයට සහ බාටා සමාගමට විශේෂ ස්තූතිය පළ කිරීමට රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂකතුමන් විසින් කටයුතු කරන ලදී.

මෙම විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරූ රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක තුෂාර ජයසිංහ මහතා වෙත කාර්මික සංවර්ධන මණ්ඩලයේ විශේෂ ස්තුතිය පළ කරනු ලැබීය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂතුමන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් , පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩසටහන් නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහ රණවිරුවන්, රණවිරු පවුල්වල සාමාජිකයන් මෙම සමාරම්භක උත්සවය සඳහා සහභාගි විය.