විරු දරුවන් වෙත ගයන්ත විජේකෝන් මහතාගෙන් රුපියල් මිලියනයක පුද්ගලික ධන පරිත්‍යාගයක්

රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව ව්‍යාපෘති අංශය යටතේ ක්‍රියාත්මක වන ක්‍රියාන්විත නොවන හේතුන් මත මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ ආර්ථික අපහසුකම් සහිත පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් කාගීල්ස් බැංකුවට අනුයුක්තව රැකියාවේ නියුතු ගයන්ත විජේකෝන් මහතා විසින් ඔහුගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා වෙත පරිත්‍යාග කිරීම අද දින දී සිදුවිය.

මෙම රුපියල් ලක්ෂ දහයක පරිත්‍යාගය තුළින් රණවිරු දූ දරුවන් අසූ තුන් දෙනෙකු සඳහා වර්ෂයකට රුපියල් 12,000 බැගින් වූ අධ්‍යාපන ශිෂ්‍යත්ව ආවරණයක් ලබා දෙනු ලබයි.

මේ සඳහා යුද, ගුවන්, නාවික හමුදාවන්ට සහ පොලීසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිට ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය සහ තුවාල ලැබූ රණවිරු පවුල්වල දූ දරුවන් තෝරා ගැනීමට කටයුතු සිදු කොට ඇත.

මෙම අධ්‍යාපනික සංවර්ධන වැඩසටහනේ සංකේතාත්මක සමාරම්භක වැඩසටහන ලෙස රණවිරු දරුවන් තිදෙනෙකු සඳහා වාරික මුදල් පරිත්‍යාග කිරීම අද දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී එම දරුවන්ගේ දෙමවුපියන්ගේද සහභාගිත්වයෙන් පැවැත්වීය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, ශිෂ්‍යත්ව ව්‍යාපෘති අංශයේ අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු මිය, මාපිය කැපකරු ශිෂ්‍යත්ව අංශයේ කළමණාකරණ සහකාර, ප්‍රියංගිකා දිල්හානි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සම්බන්ධ විය.