මුණසිංහ පවුලෙන් රණවිරුවකු සදහා නිවසක්

රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීම තේමා කර ගනිමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සමීපතම මිතුරකුගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් කොළඹ 07 හි පදිංචි හේමාල් මුණසිංහ මැතිතුමා සහ සරෝජනී මුණසිංහ මැතිණිය විසින් රුපියල් ලක්ෂ 15ක තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිවසක් නොමැති යුද්ධයේදී තුවාල ලබා සිටින එච්.එම් තිලකරත්න රණවිරුවාගේ හිසට සෙවණක් ලබාදෙන්නට අනුග්‍රාහකත්වය දක්වන ලදී.

තවද, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාට දක්වනු ලබන කෘතගුණ දැක්වීමක් සහ මෙම රණවිරුවා වෙනුවෙන් දක්වන කෘතගුණ පූර්වක උපහාරයක් ලෙස මෙම නිවස ඉදිකිරීමට මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දීම අද දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කරන ලදී.

මොරගොල්ලාගම ඉහල නිකවැව සේරුගස්යාය පදිංචි එච්.එම්.තිලකරත්න බංඩාර රණවිරුවාණන් යුධ හමුදාවේ සේවයේ යෙදී සිටියදී 2000.09.03 වන දින අරියාල ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව වම්පාදය දණහිසට ඉහළින් ඉවත් කර ඇති රණවිරුවෙකි. මෙම රණවිරුවා දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් ඉටු කරන ලද සේවය ඇගයීම වස් රණශූර පදක්කමින් පිදුම් ලත් රණශූරයකු බව ගෞරව අභිමානයෙන් යුතුව සදහන් කරමි.

දරුවන් තිදෙනෙකු සහ බිරිඳ සමඟ තමන්ගේ නිවාස සිහිනය ඉටුකර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටි මොහොතක නිවසක සිහිනය සැබෑකර දීම උතුම් වූ සත්කාර්යයකි.

එසේම පරිත්‍යාගශිලී මුණසිංහ යුවලගේ මුදලින් රුපියල් ලක්ෂ පහලොවක් පමණ ( රු. 1500,000 ) වටිනා ධන පරිත්‍යාගයෙන් එච්.එම්.තිලකරත්න බංඩාර රණවිරුවා වෙනුවෙන් අංග සම්පූර්ණ නිවසක් ඉදිකිරීමේ මහඟු සත්කාර්යය සදහා රණවිරු සමරුම් මාසය තුළදී දායකත්වය ලබා දීම මහත් වූ ගෞරවයක් බව කෘතවේදීව සිහිපත් කර සිටිමු.

මෙම සත්ක්‍රියාව වෙනුවෙන් සභාපතිතුමන් ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය සමස්ත රණවිරු ප්‍රජාව වෙනුවෙන් හේමාල් මුණසිංහ මහතාට සහ සරෝජනී මුණසිංහ මහත්මිය වෙත ගෞරව පූර්වක ස්තුතිය පළකරන්නෙමු.