රණවිරු දරුවන් සදහා ශිෂ්‍යත්ව හතක් ප්‍රදානය කෙරේ

දේශබන්දු ඒ.එම් මුණසිංහ සහ විරත් මුණසිංහ අරමුදල මගින් පරිත්‍යාගශීලී හේමාල් මුණසිංහ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මසකට රුපියල් දස දහසක් බැගින් උසස් පෙළ අධ්‍යාපනය හදාරන රණවිරු දරුවන් 7 දෙනෙකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ආරාධනයෙන් අද දින සිදු කෙරිණි.

සභාපතිතුමන් රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරන ලද සේවය අගය කිරීමක් ලෙස ඔහුගේ කළ්‍යණ මිතුරකු වශයෙන් මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය පරිත්‍යාගශීලි හේමාල් මුණසිංහ මහතා විසින් දරන ලදී.

මෙම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ රණ විරු දරුවන් හය දෙනකු සඳහා උසස් අධ්‍යාපන ප්‍රවේශය ලබා ගැනීමට මාසිකව මූල්‍යමය ආධාර පිරිනැමීම මෙහිදී සිදුවේ. සභාපතිතුමා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ශිෂ්‍යත්ව අංශය මගින් උසස් පෙළ අයදුම්පත්‍ර ලබා දී ඇති රණවිරු දරුවන් අතරින් සාමාන්‍ය පෙළ ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් දරුවන් තෝරා ගැනීම එම පදනම මගින් සිදු කර ඇත.

එමෙන්ම මින් එක් ශිෂ්‍යත්වයක් සරෝජනී මුණසිංහ මහත්මියගේ අනුග්‍රහකත්වයෙන් තම මියගිය පුතණුවන්ට පිං අනුමෝදන් වීම පිණිස එක් දරුවෙකු වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ රණවිරු දූ දරුවන් සහ දෙමව්පියන් සදහා හේමාල් මුණසිංහ මහතාගේ පුද්ගලික අනුග්‍රහයෙන් ගමන් වියදම් සහ දිවා ආහාරය සඳහා මූල්‍ය දායකත්වය ලබා දීම විශේෂ කටයුත්තක් ලෙස සැලකිය හැක.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු, ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් රණවිරු දූදරුවන් සහ එම දෙමව්පියන් සමගින් මෙම අවස්ථාවට සහභාගි විය.