රණවිරු දරුවන් පස් දෙනෙකු සදහා රුපියල් ලක්ෂ 6ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමේ

පරිත්‍යාගශීලී කනිල් විජේරත්න , අසංකා විජේරත්න හා ඉතාලියේ වෙසෙන ප්‍රියන්ත මුණසිංහ ප්‍රමුඛ ශ්‍රී ලාංකික හිත මිත්‍රාදීන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මසකට එක් රණවිරු දරුවකු සදහා රුපියල් 5000/- බැගින් වසර දෙකක් සදහා රුපියල් 120,000/ බැගින් උසස් පෙළ අධ්‍යාපනය හදාරන අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගත් රණවිරු දරුවන් 5 දෙනෙකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් අද දින සිදු කෙරිණි.

සභාපතිතුමන් රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරන ලද සේවය වෙනුවෙන් අතහිත දීමක් වශයෙන් ඔහුගේ ඥාතීන් වන කනිල් විජේරත්න , අසංකා විජේරත්න හා සභාපති තුමාගේ ඉතාලියේ වෙසෙන හිත මිත්‍රාදීන් වන ප්‍රියන්ත මුණසිංහ මහතා , අජිත් ගමගෙදර මහතා , සිරියාවතී ගමගෙදර මහත්මිය යන පිරිස විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය දරන ලදී.

අධ්‍යාපනය තුළින් රණවිරු දරුවන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ රණවිරු දරුවන් පස් දෙනකු සඳහා උසස් අධ්‍යාපන ප්‍රවේශය ලබා ගැනීමට මාසිකව මූල්‍යමය ආධාර පිරිනැමීම මෙහිදී සිදුවේ.

සභාපතිතුමා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ශිෂ්‍යත්ව අංශය වෙත උසස් පෙළ අයදුම්පත්‍ර ලබා දී ඇති රණවිරු දරුවන් අතරින් සාමාන්‍ය පෙළ ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් දරුවන් තෝරා ගැනීම එම පරිත්‍යාගශීලීන් විසින් සිදු කර ඇත.

මෙම අවස්ථාවට සහභාගි වූ රණවිරු දූ දරුවන් සහ දෙමව්පියන් සදහා මෙම පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ගමන් වියදම් සඳහාද මූල්‍ය දායකත්වය ලබා දීම විශේෂ කටයුත්තක් ලෙස සැලකිය හැක.

පරිත්‍යාගශීලී එව්මි සේනාධීර මහත්මිය රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු, ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් රණවිරු දූදරුවන් සහ එම දෙමව්පියන් සමගින් මෙම අවස්ථාවට සහභාගි විය.