රණවිරු දූදරුවන් දස දෙනෙකුට රුපියල් ලක්ෂ 12ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමේ
"පුදමු විරුවන් අගයමු දරුවන්" යන තේමාව මූල් කර ගනිමින් අ.පො.ස(සා. පෙළ ) A සාමාර්ථ 9 ක් ලබා විශිෂ්ට ලෙස සමත් රණවිරු දූදරුවන් 10 දෙනෙකු සදහා අ.පො.ස. උසස් පෙළ හදාරන වසර දෙක සඳහා මාසිකව රුපියල් 5000/- බැගින් රුපියල් ලක්ෂ 12ක් වටිනා විශේෂ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාවගේ (Cross Ethnic Community) විශේෂ අනුග්‍රාහකත්වයෙන් අද දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර WWV RWP RSP VSV USP ndu (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න WWV RWP RSP USP NDC PSC (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන සිදු කරන ලදී.
එහි තවත් ඉදිරි පියවරක් වශයෙන් තෝරාගත් රණවිරු දූදරුවන් සඳහා මෙවැනිම ආකාරයේ අධ්‍යාපනික ශිෂ්‍යත්ව 90 ක් පිරිනැමීමට එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාව (Cross Ethnic Community) සංවිධානය අපේක්ෂා කරයි. එය රණවිරු සේවා අධිකාරිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
රණවිරු සේවා අධිකාරිය වෙත පැවරී ඇති කාර්යභාරයන් අතර රණවිරු දූදරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සුවිශේෂී කාර්යයක් වේ.
ඒ අනුව රජයේ මූල්‍ය ප්‍රතිපාදන මගින් 6 සිට 10 ශ්‍රේණිය දක්වා දරුවන් හට මසකට රු.500ක් ද, අපොස සා.පෙළ හදාරන සිසු දරුවන් සදහා මසකට රු.1500 ක් ද, විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගත් දරුවන් සදහා මසකට රු.3000ක් ද වශයෙන් රණවිරු දූ පුතුන් 2000 කට ආසන්න පිරිසක් සදහා මිලියන 2.4ක මුදලක් සෑම මසකම ලබාදෙනු ලබයි.
එයට තවත් දිරියක් වෙමින් රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් රණවිරු දූදරුවන් ඇගයීම මූලික පරමාර්ථය කරගනිමින් මේ විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන මේ වසරේ දී ආරම්භ කරන ලදී. මෙහි සුවිශේෂත්වය වනුයේ රජයේ මූල්‍ය දායකත්වය නොමැතිව සභාපතිතුමන්ගේ ඥාතී හිතමිතුරන් හා පරිත්‍යාගශිලීන්ගේ මූල්‍ය අනුග්‍රහයෙන් පමණක් සිදු කිරීම සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ අදාල පාසලේ විදුහල්පති හරහා විශේෂ අධීක්ෂණයෙන් සිදු කිරීමයි.
ඒ අනුව මින් පෙර අවස්ථා 03 ක දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ ලබාගත් දූදරුවන් 66 දෙනෙකු වෙත මසකට රු.10000/- සහ රු5000/= බැගින් එක් වසරක් සඳහා රුපියල් ලක්ෂ 41ක් වශයෙන්
රණවිරු ශිෂ්‍යත්ව අංශ භාර නිළධාරිනි සුරේඛා ප්‍රනාන්දු මහත්මියගේ මෙහෙයවීම යටතේ ලබාදීමට අවැසි කටයුතු සිදුකර ඇති අතර එය දෙවැනි වසර අවසානයේදී ලක්ෂ 82 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානයක් වනු ඇත.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් සභාව ඇමතීමෙන් අනතුරුව ශිෂ්‍යත්වලාභීන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් සිදුකරන ලදී. ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්තුමන් විසින් මෙම නව ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ එතුමාගේ ඉමහත් පැසසුමට ලක්වූ අතර තවදුරටත් රණවිරු දූදරුවන් දිරි ගන්වමින් සභාව අමතන ලදී.
අනතුරුව රණවිරු දියණියක වන උපේක්ෂා සඳමාලී වීරසිංහ විසින් එක්සත් රාජධානියේ සිටින පරිත්‍යාගශීලී සර්ව වාර්ගික ප්‍රජාවගේ (Cross Ethnic Community) අධ්යක්ෂ,
ඩේවිඩ් නල්ලරත්නම් මහතා ඇතුළු එම සංවිධානය වෙත ස්තූතිය පළ කරන ලදී. වැඩසටහන අවසානයේදී රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා විසින් මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියලු පාර්ශවයන් වෙත විශේෂ ස්තූතිය පිරි නමනු ලැබීය.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ නිලධාරීවරුන් සහ රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්, රණවිරු දෙමාපියන් සහ ආදරණීය රණවිරු දූ පුතුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාවගේ (Cross Ethnic Community) අනුග්‍රාහකත්වයෙන් ලබාදෙනු ලැබූ ශිෂ්‍යත්වලාභීන්ගේ විස්තරය පහත දැක්වෙන පරිදී වේ.
1. දිවිපිදු කේ.ආර්.කුමාර රණවිරුවා වෙනුවෙන් කේ.වී.කාව්‍යා මිහිසරණි දියණියට
2. රණක්ෂිතයටපත් ආර්.එම්.ආර්.රත්නායක රණවිරුවා වෙනුවෙන් ආර්.එම්.ඕෂධී උමේෂා රත්නායක දියණියට
3. රණක්ෂිතයටපත් ඩබ්.එම්.ජී.විජේකෝන් රණවිරුවා වෙනුවෙන් ඩබ්.එම්.දිනාලි කෞමදී විජේකෝන් දියණියට
4. රණක්ෂිතයටපත් එන්.ඒ.ඩී.ඒ.එස්.කුමාර රණවිරුවා වෙනුවෙන් එන්.ඒ.ඩී.අශේන් ඉසුරංග පුතණුවන්ට
5. රණක්ෂිතයටපත් එච්.එම්.ඩබ්.ජී.එස්.බණ්ඩාර රණවිරුවා වෙනුවෙන් එච්.එම්.ඩබ්. අතිල ඉඳුවර බණ්ඩාර පුතණුවන්ට
6. රණක්ෂිතයටපත් ඩබ්.වසන්ත අනුර කුමාර රණවිරුවා වෙනුවෙන් ඩබ්.ඕෂධී ගංගාදරී දියණියට
7. රණක්ෂිතයටපත් ජේ.එස්.අනුරුද්ධ රණවිරුවා වෙනුවෙන් ජේ.එස්.සඳමිණි නෙත්සරණි දියණියට
8. රණක්ෂිතයටපත් ඩබ්.එම්.පියතිස්ස රණවිරුවා වෙනුවෙන් ඩබ්.එම්.උපේක්ෂා සඳමාලි වීරසිංහ දියණියට
9. රණක්ෂිතයටපත් ජී.ඩී.ආර්.ශාන්ත කුමාර රණවිරුවා වෙනුවෙන් ජී.ඩී.මිහිරාන් කවීශ්වර කුමාර පුතණුවන්ට
10. රණක්ෂිතයටපත් කේ.ජී.සුනිල් ශාන්ත රණවිරුවා වෙනුවෙන් කේ.ජී.භාෂනී තක්ෂිලා ලක්ෂානි දියණියට