රණවිරු ව්‍යවසායකත්වය සවිබලගැන්වීමට රු 97,000/= ක අනුග්‍රාහකත්වයක්

3 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා රණක්ෂිතයට පත්ව සිටින රණවිරු කෝප්‍රල් ආර්.එම්.එල්.කේ රත්නායක මහතා විසින් පවත්වාගෙන යන කුළු බඩු ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් 97,000/= ක් වටිනා කුළු බඩු ඇබරුම් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම බදුල්ලේ පිහිටි ඹහුගේ නිවසේදී සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ පුද්ගලික හිතවතකු වන ඇමරිකාවේ පදිංචි දේශහිතෛෂී පරිත්‍යාගශීලී යුවලක් වන නාලිනි ජයසිංහ මහත්මිය සහ ගාමිණී ජයසිංහ මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් මෙම කුළුබඩු ඇබරුම් යන්ත්‍රය රණවිරු ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට දක්වන අනුග්‍රහකත්වයක් වශයෙන් මෙම රණවිරුවාගේ නිවසටම ගොස් පරිත්‍යාග කරන ලදී.

මෑතකදී පවත්වන ලද බදුල්ල දිස්ත්‍රික් රණවිරු හමුවකදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ පුද්ගලික අවධානයට යොමු වූ මෙම වීරෝදාර රණවිරුවාගේ පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම අවශ්‍යතාව සපුරාලීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ පසුඋවැටන් හා පුනරුත්ථාපන අංශයේ රාජකාරියේ නියුතු සැරයන් හෙට්ටිවාන මහතා විසින් මෙම ඇඹරුම් යන්ත්‍රය කොළඹ සිට බදුල්ලේ පිහිටි මෙම රණවිරුවාගේ නිවස වෙත රුගෙන යාමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා සහයෝගය දැක්වූ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී මහතා, 11 වන සේනාංකාධිපති තුමන් සහ 112 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත රණවිරු සේවා අධිකාරියේ විශේෂ ස්තූතිය පිරිනැමේ.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන මෙම රණවිරුවාගේ සියලු කටයුතු සාර්ථක වේවායි යන්න පරිත්‍යාගශීලී යුවල සහ සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනයයි.