තමාලි තුනපහ සහ කුළු බඩු නිෂ්පාදන වෙළඳපලට

3 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා රණක්ෂිතයට පත්ව සිටින රණවිරු කෝප්‍රල් ආර්.එම්.එල්.කේ රත්නායක මහතා විසින් පවත්වාගෙන යන කුළු බඩු ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් 97,000/= ක් වටිනා කුළු බඩු ඇබරුම් යන්ත්‍රයක බදුල්ලේ පිහිටි ඹහුගේ නිවස වෙත ගොස් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කරන ලදී.

මෙම රණවිරුවා විසින් ඹහුට පරිත්‍යාග කරන ලද කුළුබඩු ඇබරුම් යන්ත්‍රය උපයෝගී කරගනිමින් මිරිස්, තුන-පහ, කුළුබඩු සහ ධාන්‍ය වර්ග ඇඹරීම බෙදාහැරීම සහ අලෙවිය "තමාලි නිෂ්පාදන" වෙළද සන්නාමය ඔස්සේ බදුල්ල ප්‍රදේශයේ සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ පුද්ගලික හිතවතකු වන ඇමරිකාවේ පදිංචි දේශහිතෛෂී පරිත්‍යාගශීලී යුවලක් වන නාලිනි ජයසිංහ මහත්මිය සහ ගාමිණී ජයසිංහ මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් මෙම කුළුබඩු ඇබරුම් යන්ත්‍රය රණවිරු ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට දක්වන අනුග්‍රහකත්වයක් වශයෙන් මෙම රණවිරුවාගේ නිවසටම ගොස් පසුගිය සතියේ දී පරිත්‍යාග කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ පුද්ගලික අවධානයට යොමු වූ මෙම වීරෝදාර රණවිරුවාගේ පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම අවශ්‍යතාව සපුරාලීමට රණවිරු සේවා අධිකාරිය කඩිනමින් කටයුතු කලේය.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන මෙම රණවිරුවාගේ සියලු කටයුතු සාර්ථක වේවායි යන්න පරිත්‍යාගශීලී යුවල සහ සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනයයි.