පස්යාල රණවිරු ගම්මානයේ නායයෑම් අවදානමක් සහිත නිවාස 13 ක් සංරක්ෂණයට කඩිනම් පියවර

නිට්ටඹුව පස්යාල රණවිරු ගම්මානයේ හඳුනාගත් අනාරක්ෂිත නිවාස දහ තුනක් (13) මාස දෙකක් වැනි කෙටි කාලසීමාවක් ඇතුළත කඩිනමින් සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු කිරීමේ මූලික නිරීක්ෂණ චාරිකාවක් අද දින (15, සැප්තැම්බර්) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් පැවති මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කරන ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී විය.

නිට්ටඹුව පස්යාල රණවිරු ගම්මානයේ වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුව සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් අවස්ථා ගණනාවකදී විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරමින් උත්සහ දරන ලදී. එම උත්සාහයේ ප්‍රතිඵල මල්ඵල ගැන්වීමක් වශයෙන් සිදු වූ මෙම නිරීක්ෂණ චාරිකාවේදී පස්යාල රණවිරු ගම්මානය හඳුනාගත් රණවිරු පවුල් 13ක අනාරක්ෂිත නිවාස ඉදිකොට ඇති නායයෑම් අවදානමක් සහිත ඉඩම් මාස දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුලදී රාජ්‍ය වියදමින් සංරක්ෂණය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) මහතා එකඟතාවය පළ කරන ලදී.

එමෙන්ම රණවිරු ගම්මානය තුළ ජීවත්වන රණවිරු පවුල් වල සාමාජිකයින් දැනුවත් කරමින් ඔවුන් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමටද රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කළේය.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා, ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරිනී තමාලි ප්‍රියදර්ශනී මහත්මිය මෙම අවස්ථාවට සහභාගි විය.