මාතර රණවිරුවකුගේ නිවාස ගැටලුව සඳහා කඩිනමින් විසදුම් ලබා දෙයි

මාතර නිල්වලා ගං ඉවුරේ අනාරක්ෂිත නිවසක වසර ගණනාවක් තිස්සේ තම ජීවිකාව ගෙන යන මෙම රණක්ෂිතයට පත් රණවිරුවාගේ නිවාස ගැටලුව සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් කඩිනමින් කටයුතු සිදු කරන ලදී. එම උත්සාහයේ ප්‍රතිඵල මල්ඵල ගැන්වීමක් වශයෙන් මාතර ජංගම වැඩසටහන අවසන් වන්නට මත්තෙන් මෙම රණවිරුවා සභාපතිතුමන් වෙත ඉදිරිපත් කළ දුක්ගැනවිල්ල සලකා බලා ආරක්ෂිත නව නිවසක බලාපොරොත්තු දල්වන්නට සභාපති තුමන්ට හැකි විය. මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය රණවිරු සංසදයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන රණවිරු ප්‍රදීප් කුමාර හේවගේ මහතා වෙත ඉතා කෙටි කාලසීමාවක් තුලදී රාජ්‍ය වියදමින් නව නිවසක් ඉදිකර දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) මහතා එකඟතාවය පළ කරන ලදී. රණවිරු හේවගේ මහතා නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ දී මාවිල්ආරු මුදා ගැනීමේ ක්‍රියාන්විතයට සම්බන්ධව 8 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී වසර 2006 අගෝස්තු මස 10 වන දින සතුරු මෝටාර් ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලබා රණක්ෂිතයට පත් රණවිරුවෙකි. රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා, සභාපති තුමන්ගේ ලේඛම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, දකුණු පළාත භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන අබේවර්ධන සහ මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීනී, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලහිරු රාජනායක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.