ආරක්ෂක ලේකම්ගේ ජන්ම දිනය නිමිතිකොට රණවිරුවෙකුට කෘතීම පාදයක් ලබා දෙයි

වැලිඹය ප්‍රදේශයේ අකුණු පහර ක්‍රියාන්විතයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී බිම් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් තම දකුණු පාදය අහිමි වූ රණක්ෂිතයට පත් බියගම රණවිරු සංසදය නියෝජනය කරන රණවිරුවෙකු වන සැරයන් මේජර් R.P.C ධර්මප්‍රිය මහතා වෙත කෘතීම පාදයක් ලබාදීමේ වැඩසටහනක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද දින (2023.10.04) පැවැත්විය.

ආරක්ෂක ලේකම් තුමන්ගේ බිරිඳ වන චිත්‍රානී ගුණරත්න මහත්මිය සහ එතුමන්ගේ දියණිය වන කාංචනා ගුණරත්න මෙනවිය විසින් ආරක්ෂක ලේකම් තුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදුකරන ලද පුණ්‍ය කටයුත්තටකට සමගාමීව පවුලේ සියලුම දෙනාගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් එක්ලක්ෂ හැට දෙදහස් එකසිය පනස් හතරයි ශත අනූ අටක (රු. 162,154.98/=) මූල්‍ය අනුග්‍රාහකත්වය මත රණවිරු සේවා අධිකාරිය හා සම්බන්ධව මෙම කෘතීම පාදය සකසා දීමට කටයුතු කරනු ලැබීය.

වර්ෂ 1991 සැප්තැම්බර් මස 02 වන දින LTTE ත්‍රස්තවාදීන් සමග වැලිඹය ප්‍රදේශයේ සටනට සහභාගී වෙමින් සිටියදී LTTE පීඩන බෝම්බයකට අසු වීමෙන් එම රණවිරුවාගේ දකුණු පාදය අහිමි වී ඇත. දියණියන් දෙදෙනෙකුගේ සහ පුතනුවන් දෙදෙනෙකුගේ පියකු වන මෙම රණක්ෂිතයට පත් රණවිරුවා දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ප්‍රදේශයේ ජීවත්ව සිටී.

වර්ෂ 1991 දී තම පාදය අහිමි වීමෙන් අනතුරුව 1993 වසරේ විවාහ දිවියට පිවිසෙන මෙම රණවිරුවා වසර 2005 වෙන තෙක් පාදයක් අහිමිව තිබියදී පවා කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි සිදු කළ ශ්‍රේෂ්ඨ නිර්භීත රණවිරුවෙකි.

දේශයේ භෞමික අඛණ්ඩතාවය, ඒකීය භාවයත්, නිදහසත් වෙනුවෙන් තම තරුණ දිවිය, ඇස්, ඉස්, මස්, ලේ කැප කළ ආඩම්බරකාර රටට ණය නැති රටම ණයගැති දේශයේ විරුවකු වෙනුවෙන් මෙවැනි උදාරතර පුණ්‍යකර්මයට දායකවීමට ලැබීම මහඟු අවස්ථාවක් බව චිත්‍රානී ගුණරත්න මහත්මිය විසින් සභාපති තුමන් හමුවේ ප්‍රකාශ කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, වැඩසටහන් නිලධාරීනී නෙත්මි ගයශ්‍රී මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.