2023 වර්ෂයේ දී රණවිරුවන් 255 දෙනෙකු වෙනුවෙන් ඇස් කණ්නාඩි ලබා දෙයි

රණවිරු සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව රණවිරු සංසදය නියෝජනය කරන රණවිරුවන් සිව් දෙනෙකුට ඉතා උසස් මට්ටමකින් යුතු ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී 2023 දෙසැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින පැවැත්විය.

රණවිරු සේවා අධිකාරියේ වැඩ බලන සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් කැස්බෑව රණවිරු සංසදයේ රණවිරුවන් සිව්දෙනෙකු වෙත සංකේතාත්මකව මෙම උපැස් යුවල් ලබාදීම සිදු කරනු ලැබීය.

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක ආබාධිත සහායක උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ 2023 වර්ෂය සඳහා පමණක් දිවයින පුරා විසිරී සිටින ක්‍රියාන්විත හේතූන් මත ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් දෙසිය පනස් පස් දෙනෙකු (255) සඳහා ඉතාමත් උසස් නිමාවකින් යුතු ඇස් කණ්නාඩි ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ පුනරුත්ථාපන හා පසුඋවටැන් ව්‍යාපෘති අංශය කටයුතු කර තිබේ.

2023 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියට රණවිරුවන්ගෙන් ලද ඉල්ලීම් සලකා බලා රණවිරු සේවා අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන් සහ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණයෙන් යුතුව මෙම ඇස් කණ්නාඩි රණවිරුවන් වෙනුවෙන් ලබා දීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරන ලදී.

මේ වන විට දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් හැත්ත හතර දෙනකු (74) සඳහා මෙම උපැස් යුවල් ඔවුන්ගේ නිවෙස් වෙතටම ලබා දී ඇත. එමෙන්ම ඉතිරි රණවිරුවන් සඳහා ඔවුන්ගේ දිස්ත්‍රික්කයන් වෙතටම ගොස් ඇස් පරීක්ෂා කොට නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම ඇස් කණ්නාඩි ඔවුන් වෙතට ලබාදීම රණවිරු සේවා අධිකාරියේ අරමුණයි.