“විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහන - අනුරාධපුර දිස්ත්‍රික්කය.

රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්‍යාවන්, මව්වරුන්, දියණිවරුන් සවිබලගැන්වීමත්, ඔවුන්ගේ සැගවුනු දක්ෂතා එළිදැක්වීමත් අරමුණුකරගත් “විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහන් මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩමුලුව 2025/08/14 දින උතුරුමැද පළාත් සභා ශ්‍රවනාගාරයේ දී විරුලියන් 155 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

මේ සදහා අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේ වෛද්‍ය නිළධාරීනි IP කැල්ලපත මහත්මිය, ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර නිළධාරිනී ආශා ගීතානි මහත්මිය සහ උතුරුමැද පළාත් නීති ආධාර කොමිෂන් සභාවේ සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නීති නිළධාරී ජීවා රණසිංහ මහත්මිය සම්පත්දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහන මෙහෙයවීම රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රුක්සලා රාජනායක මහත්මිය හා අනුරාධපුර දිස්ත්‍රික් භාර නිලධාරීන් වන තරණි නිවර්තිකා සහ හර්ෂණී නෙළුම් කුමාරි මහත්මීන් විසින් සිදුකරන ලදී.

මෙහිදී කාන්තාවන්ගේ කායික යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ කෙසේද හා කාන්තා රෝග පිළිබඳව දැනුවත්කිරීම, මානසික ආතතියෙන් තොර ජීවිතයක් සදහා මනෝවිද්‍යාත්මක මගපෙන්වීම, සහ වත්මන් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන සාමාජීය ගැටලු සදහා නීතිමය සහාය යන මාතෘකා ආවරනය කරමින් දැනුවත් කිරීම් සිදුවිය.

එසේම 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දක්ෂතා එළිදැක්වීමේ උළෙල සදහා ඉදිරිපත්වන විරුලියන්ගේ දක්ෂතා හදුනාගෙන වර්ගීකරනය කිරීම හා දක්ෂතා එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට අදහස්කරන ආකාරය පිළිබදව පැහැදිලි කරදීම සිදුවිය. වැඩසටහන අතරතුර විරුලියන් විසින් සිය ගායන දක්ෂතා ඉදිරිපත් කරමින් වැඩමුළුව රසගැන්වීමද සිදුවිය.