පුරන් වූ කුඹුරු අස්වැද්දවීම රණවිරු සේවා අධිකාරියෙන් ආරම්භ කරයි.

මහරගම රණවිරු සංසදයට අයත් නීලම්මහර ගම්මානයේ ඇති පුරන් කුඹුරු අස්වැද්දවීම රණවිරු සේවා අධිකාරියේ මැදිහත් වීමෙන් එම රණවිරු සංසදයේ ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ට අඳ ක්‍රමය යටතේ ලබා දී අත්හැර තිබූ කුඹුරු අක්කර 10 ක භූමි ප්‍රමාණයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඔවුන්ගේ ශ්‍රම දායකත්වයෙන් නැවත වගා කටයුතු ආරම්භ කිරීම 2025 සැප්තැම්බර් මස 24 වන දින ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ප්‍රදේශවාසීන්ද සමඟ එක්ව සිදු කරන ලදී.

මේ සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, උප සභාපතිතුමා ඇතුළු නිලධාරි මඩුල්ලද, එම ප්‍රදේශයේ ගොවි සමිතියේ ලේකම්තුමා, ගොවිජන සේවා නිලධාරිතුමා, නිලම්මහර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමියද සහභාගි වූ අතර “නිජභූම් ස්වර්ණභූම්” පදනමේ නිර්මාතෘ වජිර ගුණසේකර දානපතිතුමා ඒ සඳහා අවශ්‍ය මිනි ස්කැවේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. ප්‍රමිතියෙන් හා ගුණාත්මක තත්වයෙන් ඉහල බීජ ඉදිරියේදි ලබාදෙමින් හා ඒ සම්බන්ධ තාක්ෂණය හා වෙලඳපොළ අවස්ථා නිර්මාණය කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම එතුමා ලබාදෙන බවත් එතුලින් ආබාධිත විශ්‍රාමික රණවිරු ප්‍රජාවගේ ජීවන තත්වය නගාසිටුවීමට හැකිවන බවත් ඒ සඳහා අවශ්‍ය සියළු සහයෝගයන් ලබාදෙන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී.

මෙම නියමු ව්‍යාපෘතියේ මුල් පියවර ලෙස දැනට විනාශ වී ඇති ඇල වේලි ප්‍රතිසංස්කරණයට අවශ්‍ය වැඩකටයුතු අද දින ආරම්භ කරන ලදි. තවද මෙම නියමු ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රමානුකූව අදියර වශයෙන් පුළුල් කිරීමටද, පසුකාලීනව එම ප්‍රදේශයේ පුරන් වූ කුඹුරු හිමි අනෙකුත් ප්‍රජාවද ස්ව කැමැත්ත මත මෙම වගා සංග්‍රාමය සඳහා සහභාගි කරගැනිමට හා ඔවුන්ව දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරිමටද එතුලින් සමස්තයක් ලෙස අප මාතෘ භූමිය, කෘෂිකාර්මිකව ස්වයංපෝෂිත කිරීම යන අරමුණ පෙරදැරිව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.